2012-08-01

7 58 වාට්ටුව

අවුරුද්දකුත් වෙන්න ආවා අන්තිම post එක දාලා. දැන් ඉතින් කෙලක් වැඩ නොවැ. වැඩිය තියා facebook යන්නෙත් සති අන්තෙට වගේ ඩින්ගක්. ලියන්න ඕනමයි කියල හිතන් හිටියත් වෙලාවක් නැති නිසා මග ඇරුනා. අන්තිමට post එක ලියපු දාට වඩා ජීවිතේ ගොඩක් වෙනස් වෙලා. කැම්පස් එකෙන් out වෙලා. රස්සාවක් කරනවා. පඩියක් ගන්නවා. ජීවිතේ ගැන වෙනම විදියකට හිතනවා.

ඔය සේරම අතරේ පහුගිය මාස කීපය ඇතුලේ දෙපාරක් ඉස්පිරිතාලේ යන්න වුනා. මගේ අසනීපයකට නෙවෙයි. මුලින්ම මල්ලිට ඩෙංගු හැදිලා. දවස් 8ක් විතර කරාපිටියේ නවත්තල හිටියා. ඒක උණ වාට්ටුවක් නිසා, කට්ටිය එච්චර කතාවක් බහක් නෑ. පාඩුවෙ ඉන්නවා. දෙවැනියට අපේ පුබ්බ කාර් එකකට පොඩි අඩයක් තියලා. කකුලෙ ඇඟිල්ලක් කැඩිලා. ඌව මේ දවස් වල ජාතික රොහලේ 58 වාට්ටුවේ නවත්තල ඉන්නවා. අන්න වාට්ටුව. සේරම ඉන්නේ කැඩුම් බිඳුම් කාරයෝ. ඔන්න ඔය කියාපු 58 වාට්ටුව ගැනයි කියන්න හිතුනේ. අපේ මල්ලි නවත්තල හිටපු කරාපිටියේ 19 වාට්ටුවත් එක්ක පොඩි සංසන්දනයකුත් වේවි.

වාට්ටු වල තත්වය කතා කරොත් 58 ඉතාම ඉහල ගනයේ තියනවා. පිරිසිදු බවත් හොඳයි. මදුරු කරදරත් නෑ. දවසකට දෙපාරක් මොප් කරල සුපිරියටම තියනවා. 19 නම් එකේ සම්පුර්ණ අනිත් පැත්ත. මකුලු දැල් බැඳිල, බිම ජරා වෙලා, වැසිකිලි අවීචිය වගෙයි. ඔය රෝහල් දෙකම ප්‍රධාන ගනයේ රෝහල්නේ. වෙන් කෙරෙන සහ ලැබෙන මුදල් වල ලොකු වෙනසක් තියෙන්නෙ බෑ. හැබැයි පරිපාලනයේ නම් මාර ලොකු වෙනසක් තියන බව නම් හොඳටම පේනවා.

58 ඉන්නේ සේරම අත පය කැඩිච්ච කට්ටිය කියල මම කිව්වනෙ. විවිධ ජාතියෙ කට්ටිය, විවිධ අනතුරු වලින් විවිධ කාලයන්ට රොහල් ගත කරලා. පුබාගේ ඇඳ ගාවම ඉන්න කෙනා නම් කිව්වේ වැඩිපුර තියෙන්නේ මෝටර් බයික් අනතුරු තමයි කියල. කාර් එකකට වැදිල ගේන්නෙ එහෙමත්ම කලාතුරකින්ලු. පොර කීමට කියන්නේ මචන් මම Pulsar, අරූ FZ, එහා එකා Platina, මූ Discovery  කියලා. කොහොම හරි සෑම ජාතියෙම බයික් කාරයො නම් ඉන්නවා. සමහරු පොල් ගස්වල, ලයිට් කණු වල වැදිලා. තවත් එවුන්ට නින්ද ගිහිල්ලා. සමහරු හප්පලා වාහන කාරයො පැනල ගිහිල්ලා.

සමහරුන්ගේ අත කපලා, තව එකෙක්ගේ කකුල කපලා, අනිත් එකාගේ කකුල තැන් බර ගානකින් කැඩිල නිකන් දුන්නක් වගේ. ඒව දැක්කම නම් බයික් පදිනව තියා එලියට යන්නත් බය හිතෙනවා. කොහොම හරි ඉතින් මේ නේවාසිකයෝ ටික දීර්ඝ කාලිනව 58 වාසස්ථානය කර ගෙන ඉන්නවා. වැඩිම කාලයක් ඉන්න කෙනා දැනට අවුරුදු 2යි මාස ගානක්ලු. පුබාගෙ එහා පැත්තේ ඉන්න එකා මාස 2කට වැඩියි.

වේදනාව කොච්චර වැඩි වුනත් කට්ටිය විනොදෙන් ඉන්න උත්සාහ කරනවා. ගෙවල් වලින් ගේනෙන කෑම ටික බෙදාගෙන කනවා. වෙනම උප සංස්කෘතියක්. වාට්ටුවට නම් කට්ටිය ඒවි. දවස දෙක, මාසේ හමාර, අවුරුද්ද දෙකත් ඉඳල යන්න යාවි. හැබැයි ඒ යන එන කෙනා තමන් වෙයිද කියල සක්කරයටවත් කියන්න බෑනේ.

ඉතින් 58ට යන එන වාරයක් පාසා මට නම් හිතිච්ච දෙයක් තියනවා. ජීවිතේ හැම මොහොතක්ම විඳිමින් ජීවත් වෙන්න ඕන. මොකද ඊලඟ මොහෙතේ වෙන දේ අපි කවුරුවත් දන්නෙ නැති නිසා. නැත්නම් අපිටත් මොහොතක් ඒවි, "අපරාදේ කකුල තිබුන කලේ football ගැහුවෙ නැත්තේ" කියල හිතෙන. ඊට වඩා හොඳයිනේ "කකුල තිබුන කාලේ නම් football ගැහුව" කියලා හිතෙන එක.