2014-05-24

0 ආයුබෝවන්! නැවත හමු වෙමු...

සමාසික අභ්‍යාසලාභී කාලයක් හා වසර දෙක හමාරක සේවා කාලයකින් පසු එටිසලාට් ආයතනයේ මා ගෙවනු ලබන අවසන් දිනය අදයි. එකී කාලය තුළ නන් අයුරින් සහයෝගය දුන් සැමට ස්තූති කිරීම මගේ යුතුකමයැයි සිතමි.

පළමුවෙන්ම මගේ ස්තුතිය මා පල කරනුයේ අප සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී ලෙස කටයුතු කළ දුමී වෙතයි. ඔහු හා සම්බන්ධ වීමට ලැබුනු සීමිත වූවද, අගනා අවස්ථාවන්ගෙන් මා ලද අත්දැකීම් බොහෝයි. ප්‍රධාන තාක්ෂණික නිළධාරී සනත් සමග මා හට වැඩ කිරීමට ලැබුනු අවස්ථාවන් බොහෝ වූ අතර, ඔහුගේ දූරදර්ශි අවවාදයන් හා අනුශාසනාවන් මා සමාගමේ ගත කළ කාලය පහසු කරවන්නක්ම විය. දුමී හා සනත් වැනි නායකයන් යටතේ මා ලද පන්නරය අති මහත්ය.

මා එටිසලාට් ආයතනයට බඳවා ගත් ලොකු මාධව (මාධව ගුණතිලක) අයියා සිහි කිරීමට කැමැත්තෙමි. ඔහු නිරන්තරයෙන්ම මා හට විවිධ සහයෝගයන් ලබා දුන් අතර, පෞද්ගලික ගැටලු වලදී වුවද අවවාද ලබා දීමට තරම් නිහතමානී විය. අප කණ්ඩායමේ වර්තමාන ප්‍රධානියා වන අනුරංග අයියා ලබා දුන් නිරන්තර සහය අගය කළ යුතුමයි. එමෙන්ම සමින්ද අයියාගෙන් ලැබූ පරිචයෙහි වටිනාකම අමිලයැයි මට හැඟේ. ඔවුන් හැමවිටම මා ධෛර්ය්‍යමත් කිරීමට සමත් වූ අතර වරදක් දුටු විට එය නිවැරදි කර ගැනීමට මග පෙන්වීය.

අප RNE කණ්ඩායමේ සියලුම සොයුරු සොයුරියන් මෙහිදී විශේෂයෙන් මෙනෙහි කිරීමට කැමැත්තෙමි. ඔවුහු මා කණ්ඩායමට එක් වූ දින සිටම කිසිඳු චකිතයකින් තොරව මා කෙරෙහි විශ්වාසය තැබුවෝය. ඔවුන්ගේ සහය නොවන්නට මාගේ පලමු රැකියා අත්දැකීම මෙතරම් සුන්දර නොවීමට ඉඩ තිබිණි. මාගේ විශ්වවිද්‍යාල සමයේදීද මිතුරෙක් වූ දමිත්, මා හා අප කණ්ඩායමේ රැඳී සිටීම විශාල සවියක් විය. එනිසා ඔහු විශේෂ ස්තූතියකට සුදුස්සෙක් බව සිතමි.

Team Transport Network Planning
Transport Network Planning කණ්ඩායම මා ආයතනයේ ගත කළ මුලු කාලයම අනුයුක්තව සිටි කණ්ඩායමයි. එකී කාලයේදී යම් තක්ෂණික දැනුමක් හා අත්දැකීමක් ලද්දේද, ඉන් 90%කම ගෞරවය හිමිවිය යුත්තේ අපේ කණ්ඩායම් සාමාජිකයන්ව සිටි සුමුදු, ධනුශ්ක අයියලාටත්,හර්ෂි අක්කාටත්ය. විවිධ ක්ෂේත්‍රයන්ගේ නිපුන විශේෂඥයන්වූ ඔවුන්, නොමසුරුව කාලයත්, ශ්‍රමයත් වැය කරමින් ඔවුන් සතු දැනුම මා හා බෙදා ගත්තෝය. එහෙයින් ඔවුන්ට මගේ ගෞරවයත් ආදරයත් පිරිනැමීමට කමැත්තෙමි. පසුව අප සමග එක්වූ යදීශ, නිශාද්, නුවන්දි, පැතුම්,සන්දීප මෙන්ම චමිත්, හසිත සහ සවිනි අප කණ්ඩායම සවිමත් කළ අතර ඇතැම් විට කලක් වේලවක් නොතකමින් හදිසි රාජකාරීන්හිදී මා හට ලබා දුන් සහය හද පිරි ප්‍රණාමයෙන් සිහිපත් කරනු කැමැත්තෙමි. ඔවුන් අතරින් මුලින්ම අප හා එක් වූ යදීශ විශේෂයෙන් සිහිපත් කරන්නේ අපහසු අවස්ථාවන්හිදීද උපරිම සහයෝගය මටත් කණ්ඩායමටත් ලබා දුන් හොඳ මිතුරෙකු හෙයිනි. ඔවුන් සියලු දෙනා ආයතනයට වටිනා සම්පත් වන අතර ඔවුන්ගේ වෘත්තීය දිවිය සාර්ථක වේවායි පතමි.

මාගේ ස්තුතිය හිමිවන ප්‍රධාන කණ්ඩායම් කීපයකි. රාජකාරීමය මෙන්ම පෞද්ගලිකවද ඉතා සුහදව මා හා කටයුතු කළ, කාර්යාලයේ‘අසල්වාසීන්’ වූ Capacity Planning හා Rollout කණ්ඩායම් මතක් කරන්නේ සැබෑ මිත්‍රත්වයෙනි. තවද ඉංජිනේරු අංශයේ NOP, NOC, Switch, VAS හා IN කණ්ඩායම් වේ. චරක අයියා සමග Transmission Operations කණ්ඩායමද, ඉසංක අයියා සමග BSC Operationsකණ්ඩායමද මට ලබා දුන් සහය විශේෂයෙන් සිහිපත් කළ යුතුයි. මීට අමතරව Finance, Procurement, Legal, Corporate Services, IT හා HRයන කණ්ඩායම් වල සහය නොවන්නට මගේ රාජකාරී දිවිය අසීරු වන්නට බොහෝ ඉඩ තිබිණි. එබැවින් ඔබ සැමටත් ස්තූතියි.

මා විශ්වවිද්‍යාල සිසුවකුව සිටියදී, අභ්‍යාසලාභී ඉංජිනේරුවකු ලෙස සම්මුඛ පරීක්ෂනයේදී මාව තෝරා ගත් පොඩි මාධව (මාධව හේරත්) අයියා ද සිහිපත් කළ යුතුයි. එසේ නොවන්නට පසුව මා මෙහි ලද රැකියා අවස්ථාව නොලැබීමටද ඉඩ තිබිණි.

2013 දෙසැම්බර් Staff Conventionහි තාක්ෂණික අංශය නියෝජනය කරමින් Departmental Presentation ඉදිරිපත් කිරීමට ලද අවස්ථාව විශේෂ අත්දැකීමක් විය. එහිදී මට සහය වූ හංසිනී, සුමේධ, චාමර මෙන්ම ලක්ශිත අයියාටත් ප්‍රසංසා කිරීමට කැමැත්තෙමි. මීට අමතරව සියලුම Toastmaster සාමාජිකයන් විවිධ අවස්ථාවලදී ලබා දුන් සහයට හා දිරි ගැන්වීම් වලටද ස්තූති වන්නෙමි.

අවසාන වශයෙන් සඳුන් අයියා මට ලබා දුන් සහයෝගය මතක් කරනු කැමත්තෙමි. රාජකාරීමය වශයෙන් කාර්යාලය තුළ පමණක් නොව ඉන් පිටතදී පෞද්ගලිකව වුවද ඔහු විසින් මා හට කළ උපකාර බොහෝය. මේ වන විට මා වෘත්තීමය වශයෙන් හෝ පුද්ගලිකව යම් සාර්ථකත්වයක් ලද්දේ නම් ඒ ඔහුගේ උපදෙස් හා මග පෙන්වීම නිසාවෙනි. එසේ නොවන්නට සාම්ප්‍රදායික ඉංජිනේරුවෙකුගේ ලෝකයෙන් එපිට යමක් දැකීමට, මට නොහැකි වනු අති බව නිසැකයි. මට ජ්‍යේශ්ඨයෙක්, කලණ මිතුරෙක්, සොහොයුරෙක් හා උපදේශකයෙක් වූ ඔබට මගේ හද පිරි ස්තූතිය පිරි නැමීමට කැමැත්තෙමි.

මෙහි සඳහන් කිරීමට අතපසුවූ අයකු වූවේ නම් හෝ යම් කිසි අයෙකුට මා නිසා හිත් රිදවීමක් සිදු වී නම් මගේ කණගාටුව පල කරන අතර ඔබ සියලු දෙනා ලබා දුන් සහයෝගයට ස්තූතියි. ඔබ සියලු දෙනාගේ වෘත්තීමය හා පෞද්ගලික ජීවිත වල සියලු ඉලක්ක හා බලාපොරොත්තු සර්වාප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි පතමි.

ආයුබෝවන්! නැවත හමු වෙමු...

මම,
ෂානක අනුරාධ
Email: shanakaanuradha@gmail.com
Mobile: 072 22 418 42
Web: http://shanakaanuradha.blogspot.com
Skype: ssanuradha
Facebook: https://www.facebook.com/ssanuradha
Twitter: shanakaanuradha

2014-01-01

5 2013 මට?

ජීවිතේ ගෙවපු කාර්යබහුලම අවුරුද්දක් ඉවර වුනා. පෞද්ගලිකව මගෙන් වෙන්න ඕන වැඩ කීපයක්ම අතපසු වුනා. මගේම කලමනාකරණ දුර්වලතා නිසා කියලයි මට නම් හිතෙන්නේ. කොහොම වුනත් බලමු ලබන අවුරුද්දේ වත් ඒ ටිකත් එක්ක ගොඩ දා ගන්න. පහලින් තියෙන්නේ ගිය අවුරුද්දේ කරපු කියපු / කරන්න බැරි වුන වැඩ ටිකක් තමයි.

ජනවාරි
CCNP Switching විභාගෙ කිරීමට හිතන් හිටියත් කරන්න බැරි වුනා.

පෙබරවාරි
පෙරුම් පුරල පුරල කාර් එක ගත්තා.

මාර්තු
රුවිතෙට ආපු යටි ඇන්දේ ඥාණ දත් දෙක operation එකකින් අයින් කරා.

අප්‍රේල්, මැයි සහ ජුනි
මොනවා වුනාද, මොනවා කරාද කියල හාන්කවිස්සියක්වත් මතක නෑනේ.

ජූලි
Engineer - Transport Network Planning විදියට re-designate වුනා.

අගෝස්තු
ජීවිතේ පළවෙනි වතාවට event එකක් compere කරා.

සැප්තැම්බර්
සතියකට විතර පොඩ්ඩක් "It's Complicated" වුනා.

ඔක්තෝබර් 
Nokia Lumia 920 එකකට මාරු වුනා.

නොවැම්බර්
ට්‍රිප් ට්‍රිප් ට්‍රිප්.

දෙසැම්බර්
Annual staff convention එකේ departmental presentation එක කරන්න ලැබුනා.

ගිය පාර වගේම මේ අවුරුද්දෙත් අපේ ටීම් එකේ හිටපු කීප දෙනෙක්ම ඉවත් වෙලා ගියා. ඒ වෙනුවට අලුත් අය ගොඩක් ආවා. මේ‍ක මේ company වල හැටි වෙන්න ඕන කියල හිතුනේ හර්ෂි අක්කගේ farewell party එකේදි එයා උපුටා දක්වපු කතාවක් එක්ක. 2013න් learned lesson එක විදියට  මට හිතුනෙත් මේකම තමයි. ඒ නම් සරච්චන්ද්‍රයන් කියා ඇති පරිදි,

 "ආවොත් යා යුතුමය
නොගියොත් නැවත ඊමක් නැත
නාවොත් යන්ට බැරිය
නොගොස් එන්ට බැරිය"

ආයෙත් කවද ලියන්න ලැබෙයිද කියලනම් දන්නේ නෑ. හැබැයි ඉඩක් ලැබුන හැටියේ ලියන්න ලේස්ති වෙලා ඉන්නේ. කොහොම වුනත් එහෙනම් කට්ටියටම ජය සැප සතුට ලං වෙන සුබ අලුත් අවුරුද්දක් වේවා.

2012-12-01

3 අද හොඳම දවස.............

ඒ 2011 වසරේ ඔක්තොබර් 26 වැනි දාවක්. එදත් ප්‍රසිද්ධ හා බැංකු නිවාඩු දවසක් වුනත් වෙළඳ නිවාඩුවක් නොවෙච්ච දීපවාලී දිනයක්. ඊට සතියකට දෙකකට කලින් ජීවිතේ අමාරුම සහ දීර්ඝතම interview එකට මුහුන දීල, දෙවැනි HR interview එකට ආපු දවස. ඔක්කොම ඉවර වෙලා එලියට ආපු මාධව අයියා "වැඩේ හරි" කියපු ගමන් හිතට ආපු වචන තුන තමයි ඔය මුදුනින්ම තියෙන්නේ.

නොවැම්බර් 19 වැනිදා campus එකේ අන්තිම paper එකත් ලියලා, 23 වැනිදා පෙ-Villa සමුගැනීමේ සාදයත් ඉවරවෙලා ගෙදර ගියේ පළවෙනිදට "හරි ගිය වැඩේ"ට එන්න ඕන නිසා. දෙසැම්බර් පළවෙනිදා අලුත් බෝඩිමකටත් ගිහින් කොහොම හරි අන්තිමෙදි පස්වෙනිදා ඉඳන් වැඩ පටන් ගත්තා.

අද වෙන කොට අවුරුද්දකුත් වෙලා. අවුරුද්දකුත් ඉගිලිලා කිව්වොත් හරි. පවත්වගෙන ආපු trip frequency එක නම් ටිකක් අඩු වුනා. හැබැයි full happening අවුරුද්දක් ගෙවිලා ගියා. බෙන්තොට, සිරීපාදේ සහ නුවර එලිය trip තුනයි, TRC events ටිකටයි අමතරව වේදිකා නාට්ටි බලන්න ගියපු හැම අවස්ථාවක්මත් අලුත් අත්දැකීමක් වුනා. පෙරුම්පුරලා පෙරුම්පුරලා නෙළුම් පොකුනේ 'ස' බලන්න ගියපු එක නම් අමතක නොවෙනම අත්දැකීමක්.

ඔය අතරේ මේ අවුරුද්දට අපේ කණ්ඩායමේ හය දෙනෙක්ම ඉවත් වෙලා ගියා. මාව interview කරල තෝරපු මාධව අයියයි, මට කොනක ඉඳන් transmission planning කියල දීපු ධනුශ්ක අයියයි ඉවත් වෙලා ගියපු අවස්ථා දෙක ගොඩක්ම තදින් හිතට දැනුන අවස්ථා දෙකක්. ඒවගෙ කට්ටිය ඉවත් වෙලා යන වෙලාවක හදපු අපේ team එකේ group photo එකක් තමයි ඔය දාල තියෙන්නෙ.

පහුගිය අවුරුද්දට කරපු දේවල් බොහොමයි. කරන්න හිතාගෙන හිටපු දේවල් ඉතා බොහොමයි. ඊලඟ අවුරුද්දටත් කරන්න හිතන් ඉන්න දේවල් නම් ගොඩක් තියනවා. ටිකෙන් ටික සතෙන් සතේ රුපියලෙන් රුපියල එකතු කරනව වගේ one by one ඒවත් ගොඩ දාන්නයි කල්පනාව.

අවුරුද්දක් ගත වෙච්ච වෙලාවේ ස්තූති කරන්න නම් කට්ටිය බොහොමයි. නම් කියන්න නොගියත් අලුතෙන් අකුරක් හරි කියල දීපු, වචනෙකින් හරි දිරිගන්වපු, වතුර වීදුරුවකින් හරි සංග්‍රහ කරපු සියලු දෙනාට ස්තූතියි.

2012-08-01

7 58 වාට්ටුව

අවුරුද්දකුත් වෙන්න ආවා අන්තිම post එක දාලා. දැන් ඉතින් කෙලක් වැඩ නොවැ. වැඩිය තියා facebook යන්නෙත් සති අන්තෙට වගේ ඩින්ගක්. ලියන්න ඕනමයි කියල හිතන් හිටියත් වෙලාවක් නැති නිසා මග ඇරුනා. අන්තිමට post එක ලියපු දාට වඩා ජීවිතේ ගොඩක් වෙනස් වෙලා. කැම්පස් එකෙන් out වෙලා. රස්සාවක් කරනවා. පඩියක් ගන්නවා. ජීවිතේ ගැන වෙනම විදියකට හිතනවා.

ඔය සේරම අතරේ පහුගිය මාස කීපය ඇතුලේ දෙපාරක් ඉස්පිරිතාලේ යන්න වුනා. මගේ අසනීපයකට නෙවෙයි. මුලින්ම මල්ලිට ඩෙංගු හැදිලා. දවස් 8ක් විතර කරාපිටියේ නවත්තල හිටියා. ඒක උණ වාට්ටුවක් නිසා, කට්ටිය එච්චර කතාවක් බහක් නෑ. පාඩුවෙ ඉන්නවා. දෙවැනියට අපේ පුබ්බ කාර් එකකට පොඩි අඩයක් තියලා. කකුලෙ ඇඟිල්ලක් කැඩිලා. ඌව මේ දවස් වල ජාතික රොහලේ 58 වාට්ටුවේ නවත්තල ඉන්නවා. අන්න වාට්ටුව. සේරම ඉන්නේ කැඩුම් බිඳුම් කාරයෝ. ඔන්න ඔය කියාපු 58 වාට්ටුව ගැනයි කියන්න හිතුනේ. අපේ මල්ලි නවත්තල හිටපු කරාපිටියේ 19 වාට්ටුවත් එක්ක පොඩි සංසන්දනයකුත් වේවි.

වාට්ටු වල තත්වය කතා කරොත් 58 ඉතාම ඉහල ගනයේ තියනවා. පිරිසිදු බවත් හොඳයි. මදුරු කරදරත් නෑ. දවසකට දෙපාරක් මොප් කරල සුපිරියටම තියනවා. 19 නම් එකේ සම්පුර්ණ අනිත් පැත්ත. මකුලු දැල් බැඳිල, බිම ජරා වෙලා, වැසිකිලි අවීචිය වගෙයි. ඔය රෝහල් දෙකම ප්‍රධාන ගනයේ රෝහල්නේ. වෙන් කෙරෙන සහ ලැබෙන මුදල් වල ලොකු වෙනසක් තියෙන්නෙ බෑ. හැබැයි පරිපාලනයේ නම් මාර ලොකු වෙනසක් තියන බව නම් හොඳටම පේනවා.

58 ඉන්නේ සේරම අත පය කැඩිච්ච කට්ටිය කියල මම කිව්වනෙ. විවිධ ජාතියෙ කට්ටිය, විවිධ අනතුරු වලින් විවිධ කාලයන්ට රොහල් ගත කරලා. පුබාගේ ඇඳ ගාවම ඉන්න කෙනා නම් කිව්වේ වැඩිපුර තියෙන්නේ මෝටර් බයික් අනතුරු තමයි කියල. කාර් එකකට වැදිල ගේන්නෙ එහෙමත්ම කලාතුරකින්ලු. පොර කීමට කියන්නේ මචන් මම Pulsar, අරූ FZ, එහා එකා Platina, මූ Discovery  කියලා. කොහොම හරි සෑම ජාතියෙම බයික් කාරයො නම් ඉන්නවා. සමහරු පොල් ගස්වල, ලයිට් කණු වල වැදිලා. තවත් එවුන්ට නින්ද ගිහිල්ලා. සමහරු හප්පලා වාහන කාරයො පැනල ගිහිල්ලා.

සමහරුන්ගේ අත කපලා, තව එකෙක්ගේ කකුල කපලා, අනිත් එකාගේ කකුල තැන් බර ගානකින් කැඩිල නිකන් දුන්නක් වගේ. ඒව දැක්කම නම් බයික් පදිනව තියා එලියට යන්නත් බය හිතෙනවා. කොහොම හරි ඉතින් මේ නේවාසිකයෝ ටික දීර්ඝ කාලිනව 58 වාසස්ථානය කර ගෙන ඉන්නවා. වැඩිම කාලයක් ඉන්න කෙනා දැනට අවුරුදු 2යි මාස ගානක්ලු. පුබාගෙ එහා පැත්තේ ඉන්න එකා මාස 2කට වැඩියි.

වේදනාව කොච්චර වැඩි වුනත් කට්ටිය විනොදෙන් ඉන්න උත්සාහ කරනවා. ගෙවල් වලින් ගේනෙන කෑම ටික බෙදාගෙන කනවා. වෙනම උප සංස්කෘතියක්. වාට්ටුවට නම් කට්ටිය ඒවි. දවස දෙක, මාසේ හමාර, අවුරුද්ද දෙකත් ඉඳල යන්න යාවි. හැබැයි ඒ යන එන කෙනා තමන් වෙයිද කියල සක්කරයටවත් කියන්න බෑනේ.

ඉතින් 58ට යන එන වාරයක් පාසා මට නම් හිතිච්ච දෙයක් තියනවා. ජීවිතේ හැම මොහොතක්ම විඳිමින් ජීවත් වෙන්න ඕන. මොකද ඊලඟ මොහෙතේ වෙන දේ අපි කවුරුවත් දන්නෙ නැති නිසා. නැත්නම් අපිටත් මොහොතක් ඒවි, "අපරාදේ කකුල තිබුන කලේ football ගැහුවෙ නැත්තේ" කියල හිතෙන. ඊට වඩා හොඳයිනේ "කකුල තිබුන කාලේ නම් football ගැහුව" කියලා හිතෙන එක. 

2011-08-14

7 ආහ්.. මේ අපේ කකුස්සි මහත්තයනේ

මේ දවස් වල හුගක් TV චැනල් වල ප්‍රවෘත්ති තියන ටයිම් බෙල්ට් එකේ යන හාපික් ඇඩ් එක දැක්කද? "ආහ් මේ අපේ Toilet මහත්තයනේ" කියල පටන් ගන්නේ. සින්හලෙන් කිව්වොත් කකුස්සි මහත්තයනේ. ඇඩ් එකේ සින්හල version 1ක් හොයා ගන්න බැරි වුන නිසා ඔන්න හින්දි version එකක් දැම්ම බලාගන්න ඕනේම නම් කියලා.


කාලෙකට කලින් නම් මහේන්ද්‍ර පෙරේරාව කකුස්සි හෝදන්න යැව්වා. ඊට පස්සේ රොජර් සෙනෙවිරත්න. ඔය කවුරු කකුස්සි හේදුවත් අපිට  කමක් නෑ. අපිට අප්පිරියාවක් නැතුව TV එක බලන්න තියෙන්න එපැයි. සාමාන්‍යයෙන් ප්‍රවෘත්ති යන වෙලාවටනෙ අපි බත් කන ගමන් TV බලන්නේ. ඊයේ බත් කන්න කියල TV එක ඉස්සරහ වාඩි වුනා විතරයි මෙන්න කකුස්සි මහත්තයෙක් කකුස්සි හෝදන්න ඇවිල්ලා.

මම දන්න විදියට නම් හුඟක් රට වල මේ වගේ Toilet Cleaner ඇඩ් හරි Sanitary Towel හරි වගේ ඇඩ් දාන්න දෙන්නේ නෑ මිනිස්සු සාමාන්‍යයෙන් කන බොන වේලා වලදි. මේක ඉතින් අමුතු ඇටේ නිසා කන වෙලාවම අල්ලල ඕවා දානවා. ඌරන්ට මොන සෞඛ්‍යද නේද? කෙනෙක් කියන්න පුලුවන් උඹට ඔච්චර අවුල, උඹ ඕකට යන්නෙ යන්නෙ නැද්ද කියලා. හපොයි යනවා. ගිහින් එකේ තියා ගෙන බත් කන්නේ නෑ.

නම් සඳහන් කරාට ඕවට රඟපාන මිනිස්සුන්ගෙ ඇති වැරැද්දකුත් නෑ. මේ වානිජ කරනය  වෙච්ච ලෝකේ ඒ මිනිස්සුත් ජීවත් වෙන්න එපැයි. වැරැද්ද කිසිම ක්‍රම වේදයක්, සම්මතයක් නැති වීම කියලයි මට නම් හිතෙන්නේ. කොහොමත් අපේ රටේ බොහෝ ජනමාධ්‍ය වලට සම්මතයක් නෑනේ. මතකයිනේ ක්‍රිකට් ලෝක කුසලානේ කාලේ "නංගි පෙන්නා අක්කා දීග දීම" ජයටම කරපු හැටි.

මේක මේ වගේ සිද්දි වලින් එකක් විතරයි. ඇස් කන් ඇරල බැලුවොත් තව දුසිමක් විතර ලෙසියෙන් හොයා ගන්න පුලුවන්. වැසිකිලි පිරිසිදුව තබා ගැනීම හොඳයි. හාපික් වගේ හොඳ පිරිසිදු කාරකයක් යොදා ගැනීම හොඳා......යි. ඔහොම කරන්න කියල කියන එක කන බොන Time Belt අතෑරල කියනවා නම් වඩා......හොඳා......යි.