Showing posts with label ඉස්කොලේ. Show all posts
Showing posts with label ඉස්කොලේ. Show all posts

2011-02-03

6 සෝඩා බෝතලේ කැඩුවා වගේ

පහු ගිය දවස් වල වෙච්ච සීන් එක්ක නම් සෝඩා මතක් වෙද්දිත් මල පනිනවා. ඒත් ලියනව කියපු නිසා ලියන්නත් එපැයි. හරි, කවුරුත් මම හිතන්නෙ දන්නවා "සෝඩා බෝතලේ කැඩුවා වගේ" කියන කියමන. සෝඩා බෝතලයක් කැඩුවම මුලින් හෝ ගාල පෙන බුබුලු එහෙම දාල පටන් ගන්නෙ. වැඩි වෙලාවක් යන්න ඕනේ නැහැ නිකම්ම නිකම් වතුර වගේ වෙනවනේ. ඒ කියන්නේ මොකක් හරි වැඩක් දැඩි ඕන කමකින් පටන්ගන්නවා. හැබැයි වැඩෙ දවසින් දෙකින් දියාරු වෙලා යනවා. පටන් ගන්න මොරාල් එකේ කෑලිවත් හොයන්න නෑ.

මගෙත් හුඟක් වැඩ සෝඩා බෝතලේ කැඩුවා වගේ කියල කීපදෙනෙක්ම මට මූණටම කියල තියනවා. කියපු හන්දමත් නෙවෙයි කල්පනා කරල බැලින්නම් කතාවේ ඇත්තක් නැත්තෙත් නෑ. ඔන්න එහෙනම් බලාගනිල්ල මගේ සෝඩා වැඩ ලිස්ට් එක.

මුලින්ම මට මතක ඇති විදියට නම් මාළු ඇති කිරිල්ල. මාළු කිව්වේ සුරතල් මසුන්. පොඩි කාලේ හිටියේ රත්ගමනේ. එහෙ ගෙදරට පහලින් ගෙදරක මාළු ඇති කරා. ඔන්න කොල්ලටත් පිස්සුව හැදුන මාළු ඇතිකරන්න. ගෙදර තිබ්බ ප්ලාස්ටික් කෑන් එකක් කපල යට බොරලු ටිකකුත් දාල, වතුර පුරවල ඉල්ලන් ගෙනත් දැම්ම ගුරාමි දෙන්නෙක්. මුල් සතියෙ විතරක් 10 පාරක් විතර ටැන්කිය සුද්ද කරා. මාළු දෙන්නම මලා. මගේ පිස්සුව හොඳ වුනා.

ඊ ලඟට පරෙවි ඇතිකිරිල්ල. අමාරුවෙන් කොහොම හරි ලෑලි කෑලි ටිකක් එකතු කරලා කූඩුවක් හදා ගත්ත කියමුකෝ. පරවියෙකුත් ගෙනල්ලා කූඩුවට දාල නිදා ගත්ත. පහුවෙනිදා උදේ කූඩුව ඇරිය විතරයි පරවියා පියාඹල ගියා. ගත්ත තැනින් කිව්වා "ඇයි මල්ලි පිහාට්ටට ගහල තිබ්බ කට්ට ගැලෙව්වේ" කියල. ඒ ආසවත් ඉවරයි.

මාත් එක්ක කෝච්චියේ ගියපු අමිලය, දර්ශනය, ත්‍යාගය වගේ හෙන සෙට් එකක් ඔය කාලේ බාස්කට් බෝල් ප්‍රැක්ටිස් ගියා. මමත් ඉතින් මගේ සෝඩා මොරාල් එකත් හදා ගෙන ගියා ප්‍රැක්ටිස්. දවස් 2යි හරි 3යි හරි, බෝලෙ වැදිල ඇඟිලි 2ක් උළුක්කු වුනා. කෝචා කිව්වා ඔය විදියට අනිවාර්යෙන්ම ඇඟිලි 10ම උලුක්කු වෙනව කියල. ඔන්න ඒක නවත්තන්න හේතුව.

පිහිනුම් කරන්න කියලත් පාරක් ගියානේ. ඒකේ ප්‍රැක්ටිස් තිබුනේ ගාල්ලේ ජැටියේ. මම ගියපු දවස් ටිකේ නම් මුහුදත් පට්ට සැරයි. ඔය කෙරුවාව නවත්තන්න නම් මුල් වෙච්ච හෙතුව හරියටම මතක නෑ. බැඩ්මින්ටන් කියලත් යලට මහට මාස 3ක් විතර ගියා. ගෙදර ඉඳන්ම ප්‍රැක්ටිස් වෙනවා කියල හිතලා ඒ යෑමත් නැවතුනා. 

බාලදක්ශ කරන්න කියල කොලපාට කමීසෙකුත් මැස්සුවා. මක්කද නීතිද, දිවුරුම්ද පාඩම් කරන්න තියන කම්මැලි කමට එකත් නැවැත්තුවා. අම්මා ඊයෙ පෙරේද කොල පාට කමීසෙන් දූවිලි පිහිදාන කොට තමයි බාලදක්ශත් කොරා නේද කියල මතක් වුනේ.

ජූනියර් බෑන්ඩ් එකටත් ගියා කියමුකෝ. සංගීතයේ මල පොතේ අකුරවත් නොදැන මොන බෑන්ඩ් ද? නැද්ද මම අහන්නේ. ඉලෙක්ට්‍රොනික් පිස්සුවක් හැදිල රේඩියෝ ක්ලබ් එකටත් ගියා. ඒ දවස් වල ට්‍රාන්සිස්ටර් කිව්වම මඤ්ඤ මෝල් වෙනවා. නිකන් මෝල් වෙන්නේ මොකටද කියලා එකත් නැවැත්තුවා. පස්සේ කාලෙක නම් හිතුනා රේඩියෝ ක්ලබ් නැවැත්තුවේ හොඳ වෙලාවට කියලා :P

දහම් අධ්‍යාපනය හැරුනු කොට තිබුනු වෙනත් අරමුනක් නිසා, දහම් පාසල් නම් මාස 5, 6 බැගින් කඩින් කඩ ගියා. හැබැයි කිසිම දහම් පාසල් තරඟයකට හෝ විභාගයකට පෙනී ඉඳලා, සහතිකයක් නම් අරන් නෑ.

සහතිකයක් කියල පෙන්නන්න තියන එකම එක තියෙන්නේ චෙස් වලින්. එකත් ඉතින් අවුරුදු එක හමාරකට, දෙකකට වඩා කරේ නෑ.

දැන්නම් හිතෙනවා ඔය මොන මගුල් වලින් හරි එකක් හරියට කරන්න තිබ්බ නේද කියල. මොනවා කරන්නද? දැන් ඉතින් ප්‍රමාද වැඩියිනේ. හැබැයි ඉතින් ආපහු කරත් ඔය ටිකම ආපහු වෙන්නත් බැරි නෑ. නැද්ද මම අහන්නේ?

2011-01-28

5 දණ ගානවද යකෝ

13 - C රෙජිස්ටෙරේ 

මේ ඉරිදා අපේ අවුරුද්දේ අපේ උන් ටික සෙට් වෙන අපේ ගෙට් එක. අපේ කිව්වෙ අපේ ඉස්කෝලෙ සෙට් එක. අපේ උන්ගේ ඇතුලත් වීමේ අංක ටික ගන්න ඕනෙ කමකට කසුන් අද ඉස්කෝලෙට ගිහිල්ල අපේ පරණ රෙජිස්ටර් ටික හොයා ගෙන ඇවිත් තිබුනා.  ඔන්න දැම්මා රෙජිස්ටෙරේ පින්තූරෙත්. 

මේක දැක්කම අපේ උසස් පෙල පන්තියේ උගන්නපු මිස්ල, සර්ල ටික අමතක කරන්නම බැහැ. මිස්ල කිව්වට වන් ඇන්ඩ් ඔන්ලි අපේ පන්ති භාර හිටපු සාවිත්‍රි මිස්. මිස්ම තමයි physics කරේ. chemistry කරපු වික්‍රමසිංහ සර්. pure කරපු රංජිත් සර් සහ applied කරපු නිමලරත්න සර්. ඇයි english කරපු පෙරේරා සර්. මිස්ට කෙසේ වෙතත් සර්ලට නම් පාවිච්චි වුනේ ඔය කියපු නම් වලින් එකක්වත් නෙවෙයි :D

දැන් ටික දවසකින් ලියපු නැති නිසා, ඉස්කොලේ දවස් වල සිද්ධ වෙච්ච පොඩි චාටර් සීන් එකක් ලියන්න හිතුනා අද. නැත්තන් කට්ටිය කියාවි මුගේ බ්ලොග් ලිවිල්ලත් සෝඩා බෝතලේ කැඩුවා වගේ කියලා. කොහොමත් මගේ හුඟක් වැඩ සෝඩ බෝතලේ කැඩුව වගේ තමයි. ඒවා පස්සෙ වෙනම පොස්ට් එකකින් ලියන්නම්.

ඔන්න වැඩේ. කතා නායකයා මම. සහය නළුව මාධවය. දින වකවානුව නම් අර අමුතු ජාතියෙ 'ස' යන්න ආපුම කාලේ. ඒ දවස් වල ඉතින් කොහෙන් හරි CD එක කොපි කරගෙන තිබුන එකාට එක කොපිය ගානේ. ඕක ඒ දවස් වල කට පාඩම්. නිකන් ඉන්න කොට මුමුනන්නෙත් 'ස' යන්නෙ තියන සින්දුවක් තමයි. අදටත් අපරාදෙ කියන්න බෑ අමුන ගන්න පුලුවන් කොහොම හරි. අපි පාවිච්චි කරපු catch phrasesනුත් ඉතින් ඕකෙන්ම අහුල ගත්ත ඒවා තමයි. අහපු අය දන්නව ඇති, හුගක් තිබුනෙ අර මුස්ලිම් මනුස්සයෙක් විදියට කතා කරන ටිකේ, ෂා..... ලස්සන කියල නිම කරන්න බෑ. මාරෙටම rhyme වෙනවා. මාරම catchy.

ඉතින් දවසක් මාධවය මොකක් හරි බල බල ඉද්දි මම උගෙන් ඕක ඉල්ලුවා. මොකද්ද කියල නම් මතක නෑ. මූත් නෑහුනා වගේ ඒකම බලනවා. ඉතින් මම ඌට තේරෙන බාසාවෙන් ලස්සන catch phrase එකකුත් දාල කිව්වා "*** ලඟ දණ ගාන්නෙ නැතුව, ඕක දීපිය" කියල. phrase එක තිබුනේ  'ස' යන්නේ "පෙම්බර මදූ මගේ" සින්දුවට පාවිච්චි කරපු විස්තර විචාරේ වගෙයි මට දැන් මතක. දන්නෝ දනිති :p

කියලා හැරුන විතරයි මිස් පිටිපස්සේ. බිම හාර ගෙන යන්න නෝන්ඩිය. ඒ වගේද මිස් දිහා බලන්නත් බයයි. මිස් ෂේප් කරගන්නත් එපැයි. ඉතින් මේ ලෝකෙ නැති ඒවා මිස් එක්ක කතා කරනව damage එක control කරගන්න. මිස් නේද, කිසිම response එකක් නෑ. මතක විදියට එදා සිකුරාද දවසක්ද කොහෙද. කොහොම හරි එදා ගෙදර ගිහින් මුලු සති අන්තෙම කල්පනා කරල කරල, සඳුදා උදේ පාන්දරම දඩ physics ගානක් උස්සන් ගිහින් කිව්ව මේක කියල දෙන්න කියලා. ගාන කොහොම හරි මිස් අපිට කියල දෙන්න එපැයි. හිතුවා වගෙම මිස් ගාන කියල දුන්න. අපිත් normal එකේ ෂේප් වුනා. අපි කිව්වට මමනෙ චාටර් වුනේ. මමත් ෂේප් වුනා.

රෑ වැටිච්ච වලේ දවලුත් වැටෙනවා වගේ, ඕකම තව පාරක් වුනා. ඉතින් සුපුරුදු ගැටේ ගහල බේරුනා. ඔය ඔක්කොම වුනේ 12 වසරෙදි. 13 වෙන කොට මිස් අපිත් එක්ක මාර ෆිට්. ඒක නිසයි, Science Day එක නිසයි, මට නම් 13 වසරෙදි ඉස්කොලෙන් හොරාට පැනීමේ භාග්‍ය අහිමි වුනා. මොකද, යන්න ඕන වුනාම මිස් පන්තියේ උගන්න උගන්න හිටියත් "මිස්, මම යනව" කියල යන්න පුලුවන්කම හම්බ වුනා. වැරදිලා හරි මාට්ටු වුනොත් Science Day එක උකස් කරා.

හැබැයි අපේ උන් පනින්න ගිහින් මාට්ටු වෙලා බයිසිකල් කර ගහ ගෙන, කනේ පාරවල් කාල ප්‍රධාන කාර්යාලය ඉස්සරහ හිටපු හැටිත් මතක් වෙනවා. මගේ මතකෙ හරිනම් මාධවයයි, කසුනුයි, පනන්ගලයයි 3දෙනා පාරක් ප්‍රින්සිපල්ගේ අතටම මාට්ටු වුනා. අවුලක්නම් වුනේ නැද්ද කොහේදැයි.

අර 'ස' යන්න cd එක නම් දැන් නෑ. මාධවයගේ එක තියෙයිද දන්නෙනෑ. ඕවා නිසි ලෙස සංරක්ශණය කරන්න ඕන එව්වා නොවැ. හික්, හික්. ඇතිනේ. කුනුහරුප ලියවුනේ නැතුව ඇති කියල හිතමු. මගේ "සෝඩා බෝතලේ ඇරිය වගේ" වැඩත් එක්ක ආපහු එන්නම්.

2011-01-10

13 වසර 13ක් කියන්නෙ යුගයක්

"වසර 13ක් කියන්නෙ යුගයක්, වසර 13ක යුගයක් රිච්මන්ඩ් ඇකයේ නිමා කරන අපි, තවත් එවැනිම යුගයක් රිච්මන්ඩ් ඇකයේ නිර්මාණය වෙන හැටි සතුටු කඳුලු වැගිරෙන දෙනෙතින් යුතුව බලා ගෙන ඉන්නවා" ඒ මගේ වචන නෙවෙයි. ව්‍යවහාරික වර්ශයෙන් 2005 වැන්නේ නොවැම්බර් 3 වැනි බ්‍රහස්පතින්දා රිච්මන්ඩ් විද්‍යාලීය ප්‍රධාන ශාලාවේ රැව් පිලි රැව් දුන්න සංදීපගේ වචන හරඹයෙන් කොටසක්. අපි අද ආපහු ඉස්කෝලේ ගියා. ඒ ගත කරපු පැය කීපයට අපි ආපහු අපේ ඉස්කෝලෙ කාලෙට ගිහින් ආව වගේ දැනුනා.

RCSS Logo
ඒත් හදිස්සියේම කලින් කිව්ව වචන ටික මතක් වුනේ අපේම මල්ලිලා ලහි ලහියේ රිච්මන්ඩ් විද්‍යාලීය විද්‍යා දිනයට ලක ලෑස්ති වෙන හැටි දැක්කමයි. එදා සංදීප ඔය ටික කිව්වෙ 2006 උසස් පෙල කණ්ඩායම විසින් කරපු "විදුරුත් නින්නද 2005" රිච්මන්ඩ් විද්‍යාලීය විද්‍යා දිනයේ අවසාන විනාඩි කීපයේදියි. එම වර්ශයේ විද්‍යා සංගමයේ සභාපති විදියට, මට අපේ විද්‍යා දිනය සම්භන්දයෙන් සටහනක් තියන්න හිතුනේ "විදුරුත් නින්නද 2011" අති උත්කර්ෂවත් අන්දමින් කරන්න ලෑස්ති වෙලා ඉන්න මල්ලිලාට ධෛර්ය්‍යක් වෙන්නයි.

2004 වර්ශයේ හිරාන් චන්ද්‍රසේන අයියාගේ සභාපතීත්වයෙන්, එම වසරේත් සාර්ථකම විද්‍යා දිනය දැකපු අපේ උන්ට ඊට එහාට යන විද්‍යා දිනයක් කරන්න ඕනෑකම ආවා. ඒ ගත්ත ශක්තියෙන් අපිත් විද්‍යා දිනයක් කරන්න පටන් ගත්තේ 2005 වර්ශයට විද්‍යා සංගමය අළුත් කරගෙනයි. කියන්න ලේසියි, කරන්න ගියාම තමයි අමාරුව. විවිධ බාධා හමුවේ, අපේ උන්ට ඒ ඉලක්කය සොයා යාම එච්චරම පහසු වුනේ නෑ.

අපේම දායකත්වයෙන් සහ ආදි රිච්මන්ඩ්වරුන්ට පිං සිද්ද වෙන්න මූල්‍යමය ශක්තිය තහවුරු කරගත්තා. අපි අතරින්ම සොයා ගත්ත බ්‍රයිටො ටික ප්‍රායෝගික පරීක්ෂණ ඇතුලත් කරමින් අති විශිෂ්ඨ අන්තර් පාඨශාලීය තරඟයක් නිර්මාණය කරා. "වෙළඳපොල අධිකාරියට යටත් වුණු ලෝකයක අපි උඩුගං බලා පිහිනමින්, දැන්වීම් වලින් තොර සඟරාවක් ඉදිරිපත් කලා" ඒ සංස්කාරකවරුන්ගේ වචන.

විද්‍යා දිනය සංගීත සාජ්ජයක් බවට පත් නොකරගෙන, සිටියවුන්ට උපරිම විනෝදාස්වාදයක් දෙන්න තරම් අපේ උන් නිර්මාණශීලී වුනා. කෙල්ලො සහ කොල්ලො වෙනම කණ්ඩායම් 2කට බෙදලා, ලබා දුන්න රසායන විද්‍යා ගැටලුවට වගේම එහි ඉදිරිපත් කිරීමටත් මාස ගානක් යනකන් ප්‍රතිචාර ලැබුනා. විවිධ තාක්ෂණික කටයුතු හෙව්වෙ බැලුවෙත් අපේම සොයුරන්. ප්‍රධාන දේශනය මනෝ වෛද්‍ය ඩී. බී. හරිස්චන්ද්‍ර මහතාගෙනුයි. මම කලින් කියපු තරඟයේ ජය මහින්ද විද්‍යාලයට හිමි වුනා.

නම් ගම් ලියන එක අඩු කරේ, එහෙම ලිව්වොත් මට පන්ති 10ක හිටපු 450-500ගේ විතර නම් මෙතන ලියන්න වෙන නිසා. කමිටුවට සීමිත දෙනෙක් පත් වුනත්, විද්‍යා සංගමය කියන්නේ 12 සහ 13 වසර වල ව්‍යවහාරික සහ ජීව විද්‍යා සිසුන්ගේ එකතුවයි කියන එක, "විදුරුත් නින්නද 2005" ඔස්සේ අපිට ඔප්පු කරන්න හැකි වුනා. අපේ උන්ගේ මහන්සිය ඉස්සරහා බාධක බිඳිලා ගියා, කටු අකුල් වල මල් පිපුනා, "විදුරුත් නින්නද 2005" අති සාර්ථක වුනා. අපි විද්‍යා සංගමයෙන් සහ පාසල් මෑණියන්ගෙන් සමු ගත්තේ විද්‍යා සංගමය ක්‍රිෂන් සෙනෙවිරත්න මල්ලිගේ භාරයට පත් කරලා.

අපි එදා නිර්මාණය කරල භාවිතයට ගත්ත ලාංඡනය අදත් භාවිතා කරනවා. එදා අපි භාවිතා කරපු නම "විදුරුත් නින්නද" අදත් භාවිතා වෙනවා. ඒ ගැන අපිට තියෙන්නේ නිහතමානී ආඩම්බරයක්. මේ ඔක්කොටම වඩා එදා අපේ ශක්තිය වෙච්ච ප්‍රේමතිලක සර් අද අපේ මල්ලිල එක්ක ඉන්න එක අපිට නම් අනාගතයේ සුබ පෙර නිමිත්තක්.

ලියන්න නම් දෑ බොහොමයි. ඒත් අපි ලබා ගත්ත අත්දැකීම් සමුදාය නම් කවද ලියා ඉවර කරන්න හම්බ වෙයිද දන්නෙ නෑ. ලිපිය ආරම්භ කරා වගේම අවසානයටත් සංදීපගේ වචන ටිකක්ම පාවිච්චි කරන්නම්. "ඒ ඉතිහාසය සාක්ෂි දරා ඇති අයුරින්ම එදා මෙන්ම අදත්, අද මෙන්ම හෙටත්, විද්‍යාවේ අරුත නින්නාද වේවි එක දිගට, නොනැවතී සදාකාලික වූ අනාගතයක් බලා". එසේ නම්  ඒ සම්ප්‍රදාය මත අඩි තබා යන සාම්ප්‍රදායික නොවන ගමනකට 2011 රිච්මන්ඩ්වරුන්ට, 2006 අපෙන් ගට.


ප.ලි.
ඔන්න එදා ගත්ත පින්තූර ටිකක්