2011-08-14

7 ආහ්.. මේ අපේ කකුස්සි මහත්තයනේ

මේ දවස් වල හුගක් TV චැනල් වල ප්‍රවෘත්ති තියන ටයිම් බෙල්ට් එකේ යන හාපික් ඇඩ් එක දැක්කද? "ආහ් මේ අපේ Toilet මහත්තයනේ" කියල පටන් ගන්නේ. සින්හලෙන් කිව්වොත් කකුස්සි මහත්තයනේ. ඇඩ් එකේ සින්හල version 1ක් හොයා ගන්න බැරි වුන නිසා ඔන්න හින්දි version එකක් දැම්ම බලාගන්න ඕනේම නම් කියලා.


කාලෙකට කලින් නම් මහේන්ද්‍ර පෙරේරාව කකුස්සි හෝදන්න යැව්වා. ඊට පස්සේ රොජර් සෙනෙවිරත්න. ඔය කවුරු කකුස්සි හේදුවත් අපිට  කමක් නෑ. අපිට අප්පිරියාවක් නැතුව TV එක බලන්න තියෙන්න එපැයි. සාමාන්‍යයෙන් ප්‍රවෘත්ති යන වෙලාවටනෙ අපි බත් කන ගමන් TV බලන්නේ. ඊයේ බත් කන්න කියල TV එක ඉස්සරහ වාඩි වුනා විතරයි මෙන්න කකුස්සි මහත්තයෙක් කකුස්සි හෝදන්න ඇවිල්ලා.

මම දන්න විදියට නම් හුඟක් රට වල මේ වගේ Toilet Cleaner ඇඩ් හරි Sanitary Towel හරි වගේ ඇඩ් දාන්න දෙන්නේ නෑ මිනිස්සු සාමාන්‍යයෙන් කන බොන වේලා වලදි. මේක ඉතින් අමුතු ඇටේ නිසා කන වෙලාවම අල්ලල ඕවා දානවා. ඌරන්ට මොන සෞඛ්‍යද නේද? කෙනෙක් කියන්න පුලුවන් උඹට ඔච්චර අවුල, උඹ ඕකට යන්නෙ යන්නෙ නැද්ද කියලා. හපොයි යනවා. ගිහින් එකේ තියා ගෙන බත් කන්නේ නෑ.

නම් සඳහන් කරාට ඕවට රඟපාන මිනිස්සුන්ගෙ ඇති වැරැද්දකුත් නෑ. මේ වානිජ කරනය  වෙච්ච ලෝකේ ඒ මිනිස්සුත් ජීවත් වෙන්න එපැයි. වැරැද්ද කිසිම ක්‍රම වේදයක්, සම්මතයක් නැති වීම කියලයි මට නම් හිතෙන්නේ. කොහොමත් අපේ රටේ බොහෝ ජනමාධ්‍ය වලට සම්මතයක් නෑනේ. මතකයිනේ ක්‍රිකට් ලෝක කුසලානේ කාලේ "නංගි පෙන්නා අක්කා දීග දීම" ජයටම කරපු හැටි.

මේක මේ වගේ සිද්දි වලින් එකක් විතරයි. ඇස් කන් ඇරල බැලුවොත් තව දුසිමක් විතර ලෙසියෙන් හොයා ගන්න පුලුවන්. වැසිකිලි පිරිසිදුව තබා ගැනීම හොඳයි. හාපික් වගේ හොඳ පිරිසිදු කාරකයක් යොදා ගැනීම හොඳා......යි. ඔහොම කරන්න කියල කියන එක කන බොන Time Belt අතෑරල කියනවා නම් වඩා......හොඳා......යි.

2011-06-28

4 ජෝගි නැටීම

ජෝගි නැටීම කියන්නේ අපේ සාමාන්‍ය කට වහරේ නිතර පාවිච්චි වෙන වචනයක්නේ. තේරුම් ගානත් එමටයි. නිතර පාවිච්චි වෙන්නෙ නම් කවුරු හරි කෙනෙක්ට බනින්න හරි ඇනුම් පදයක් විදියට හරි තමයි.

ඇත්තටම නම් ජෝගි නැටීම කියන්නේ ශාන්තිකර්මයක කොටසක්ලුනේ. කොලඹ අවට විශේෂ නාට්‍ය වර්ගයකුත් තිබිල තියනවලු ජෝගි නාට්‍ය කියල. ඔන්න ඔය දෙවැනියට කියපු එක නිසා තමයි ජෝගි නැටීම කියන දේට දරුණුම තේරුම ඇවිත් තියෙන්නේ. ඇඳි සළු පිළි උනා දමමින් කරන නැටුමක් කියනවනේ. "ඕකි හොඳට ජෝගි නටපු එකියක්" වගේ භාවිතයක් අඩු ගානේ ටෙලි නාට්‍යක හරි චිත්‍රපටියක හරි අහල දැකල තියනවනම් සම්බන්දේ ගලපා ගන්න පුලුවන් වේවි.

හැබැයි එච්චරම සැර තේරුමක් නැති විදි වලටත් ඔය නැටිල්ල පාවිච්චි කරනවා. මට මතකයි ඉස්සර අපිත් එක්කම රත්ගම ගෙදර හිටපු රතු අයියට මහම්මා බනිනව, "මූ හවස් වරුවෙම ජෝගි නටල නටල ඇවිත් දැන් TV එක ඉස්සරහ වාඩි වෙලා ඉන්නවා. අතන තිබුන පෙලෙල්ලක් මෙතන්ට කරවන්න බෑනේ මූට කියල" කියලා.

එක පාරටම මේ ජෝගි නැටිල්ල මතක් වුනේ, පහු ගිය ඉරිදා මමත් දැක්කනේ ජෝගි නැටිල්ලක්. කලබල වෙන්න එපා අර කලින් කියපු දෙවැනි වර්ගයෙ එකක් නෙවෙයි. මේක පෙරහැරක ජෝගි නැටිල්ලක්. මේකයි සිද්දිය. ඔන්න පහුගිය ඉරිදා අපි කොලඹ ඉඳන් ගෙදර එන ගමන් අහුවුනා පෙරහැරකට. හරියටම කියනවනම් කුමාරකන්දෙදි. ඒ වාර්ශිකව තියන දොඩන්දූවේ මිහිඳු පෙරහැර. පැයකටත් වැඩි රස්තියාදුවක් කුමාරකන්දේ. කමක්නෑ ඉතින් ඕවත් තියෙන්න එපැයි ආගම දර්ශනේ, සංස්කෘතියේ පැවත්මට කියල මුවින් නොබැන හිටිය කියමුකො. 

ඔන්න දැන් අපි පෙරහැරත් බලාගෙන, පෙරහැර පාස් කරන් ඉස්සරහට ගියා, පොලිස් රාලහාමි සංඥාවේ හැටියට. පෙරහැරේ බාගයකටත් වඩා තිබුනේ කාවාඩි. ඒකත් හරි කාවාඩියක් නම් කමක් නෑ. අපරාදේ කියන්න බෑ බිග් මැච් එකකට අරන් යන්න තරම් සිරා පපරයකට ඉස්සර වෙච්ච කණ්ඩායම හොඳට නටනවා. උන් ඇත්තටම නටනවා නෙවෙයි, වැනෙනවා. කට්ටියම කර්පට් වෙන්නම ගහලා. කාලක් ගහලා කාලක්‍රියා කරනවට වඩා, භාගයක් ගහලා භාග්‍යවන්තයෙක් වෙනවට වඩා, මුන්ට හිතෙන්න ඇති බෝතලයක්ම ගහලා බෝධිසත්වයෙක් වෙන්න. කාවාඩි කිව්වට එකෙක්වත් යකඩ කටුවක් ඇඟට ගහලත් නෑ. කතරගම දෙයියන්ට වැඩ වැඩි නිසා හොඳයි. නැත්තන් යකඩ කට්ට ගහන්නේ මුන්ගේ xx.


මිනිස්සු බොන එකට අපි මුකුත් කියන්නේ නෑ. උන්ගේ කාර්, උන්ගේ පැට්ට්‍රොල් නේ. මිනිස්සු නැටුවට අපිට කමකුත් නෑ. නැටුමයි, බෙරේ පලුවයි දෙකම නැති වෙන්නෙත් උන්ටනේ. මිනිස්සු බීලා නැටුවත් අපිට කමක් නෑ. වැටිල කැඩුනොත් උනගෙ බෙලිනේ. හැබැයි සුලු පිරිසකගේ ජොලියට දහස්ගානක් මහපාරේ රස්තියාදු වෙනවනම් ඒක මම කලින් කිව්ව ජෝගි නැටීමේ එක ආකාරයක් වෙනවා නේද?

2011-06-12

1 සයිකල් වර්ක්ස්

A/L කාලේ පන්ති යන එකයි ඉස්කොලේ යන එකයි ඇරුනම වැඩිපුරම ගියපු තැනක් තමයි ඔය "සයිකල් වර්ක්ස්" කියල ලෑලි කෑල්ලක ලියල තියන පොඩි මඩු. එක පාරටම "සයිකල් වර්ක්ස්" මතක් වුනේ, පෙරේදා යන්න වුනා ඔය "සයිකල් වර්ක්ස්" එකකට. පැච් එකක් දාන්න කියල, ඒකත් මෝටාර් එකට. තල්ලු කරපු එවුන් නම් දන්නව ඇති හුලන් ගිහිපු මෝටාර් එකක් තල්ලු කරන රඟේ. ඉතින් තල්ලු කරන් මනෝ පාරකුත් දා ගෙන යන අතරෙ තමයි හිතුනේ මගේ ජීවිතේ සයිකල් පරිණාමය ගැන පෝස්ට් එකක් දාන්න ඕනෙ කියල.

මම පැදපු මුල්ම සයිකලේ ට්‍රයිසිකලයක්. රතු පාට ට්‍රයිසිකලේ හැන්ඩ්ල් එක දෙපැත්තේ ඉටි කොල සවරම් තිබුනා. එක ගෙනාපු දවසක් නම් මතක නැහැ. හැබැයි ඒක මම ඉස්කොලේ එකේ පන්තියට යනකම්ම අපේ දර මඩුවේ තිබුන මතකයි. ඔය පල්ලෙහා තියෙන්නේ එකේ පින්තූරයක්. අපේ මල්ලි උගේ වගේ ඕකේ නැගල හිටියට ඕක මගේ.

ඊට පස්සේ මම තුනේදි විතර තාත්තා අරන් දුන්න බාගේ බයිසිකලයක්. බාගේ බයිසිකලේ කියන්නේ, ඒක පොඩි හින්දා වෙන්න ඇති. බයිසිකලේ තැඹිලි පාටයි. බයිසිකල් පොල්ලටයි, හැන්ඩ්ල් පොල්ලටයි ස්පොන්ච් වගෙ කවරයක් දාලා තිබ්බා. ඔය බයිසිකලෙන් තමයි මම මුලින්ම රෝද 2න් යන්න පටන් ගත්තේ. ඒකෙන් නම් කී පාරක් කියල වැටිලා ඇද්ද. මම පහේ ශිෂ්‍යත්වෙට ගියපු පන්තියට යන එක තමයි ලොකුම ප්‍රයෝජනේ. සතියකට දවස් 2ක් පල්ලියපිටියෙ ඉදන් හෑගොඩට ගියපු කිලෝ මීටර් 1ක විතර ගමන තමයි මගේ බාගේ බයිසිකලේ දිගම ගමන.

පහේ ශිෂ්‍යත්වේ පාස් වුනාම තාත්තා ඊලඟට අරන් දුන්නා කෙන්ස්ටාර් මවුන්ටන් බයිසිකලයක්. ඒක මුල් කාලේ නම් වැඩිපුරම පාවිච්චිකරේ තාත්තමයි. ඒ දවස් වල අපේ ගෙදර හදන කාලේ නිසා, ඒවයි වැඩ වලට තමයි වැඩි පාවිච්චිය. පස්සේ ඉතින් කඩේ යන්නම තමයි. A/L කාලේ තමයි බයිසිකලෙන් ඉස්කොලේ යන්න වුනේ. වැඩියත්ම හවස පන්ති තිබිච්ච නිසා බයිසිකලේ ගමන ලේසි වුනා. ඉතින් ඒ වෙන කොට ටිකක් මලකඩ අල්ලලා පස් වේගෙන ගියපු බයික්කේ ටිප් ටොප් එකට හදල ගත්තා. ගැහුවා අලුතෙන් රිදී පාට පේන්ට් එකක්. රෝද 2ටම අලුතෙන් ස්පෝක් සහ ටයර්. පොඩි කුනු කුනුවකුත් දාල 21 speed gear සෙට් එකත් දැම්ම කියමුකෝ. අං දෙකකුත් හයි කරේ ඒ දවස් වල trend එක නිසා. වැඩේ සම්පූර්ණ වුනේ අපේ ගැන්සියේ සෙට් එක වගේම, සීට් එකේ වාඩි වුනාම කකුල ගහන්න බෝක්කුවක් ගාවට යන්න වෙන තරමේ උසකට සීට් එක උස්සලා.

බයිසිකල් කෙරුවාව එපා වුනේ සතියට පාරක් දෙපාරක් "සයිකල් වර්ක්ස්" අස්සේ රිංගන්න වෙන කොට තමයි. මොනවා කොරන්නද ඉතින්, දුප්පතාගේ හිතවතානේ. අනික ඉතින් ගිනි අව්වේ ගාල් කරල පන්ති ගියාම පැච් යන එක අහන්න දෙයක්යැ? දවල් වරුවේ බයික්කේ අව්වේ දාල, පන්තිය ඉවර වෙන කොට හුගක් හැන්දෑ වෙලා, "සයිකල් වර්ක්ස්" හොයා ගන්න නැතුව කීපාරක් නම් ඕක වජීන්ලගේ ගෙදර දාල යන්න ඇද්ද.

A/L කරල ලයිසන් ගත්තට පස්සෙ ඉතින් මෝටාර් එක තමයි. ඔටෝ AC තියන නිසා දාඩිය දාන්නෙත් නෑනේ. හැබැයි ඉතින් පැච් එකක් ගියාම පුටාර් එක වගේ නෙවෙයි මෝටාර් එක. මොකෝ ඉතින් ස්පෙයාර් වීල් තියන එකක්යැ. ආන් එතකොට තමයි හිතෙන්නේ පස්සේ ආපු අඟට වඩා, මුලින් ආපු කන තිබ්බ නම් හොදයි කියලා.

කොහොම හරි දැන්නම් ගෙදර තියෙන්නෙ මෝටාර් එක විතරයි. දෙවනි වතාවටත් පස්වෙවී තිබුන මගේ A/L සගය, අම්මා කාටද දීලා. කවුරු හරි පාවිච්චි කරනවනම් හොඳයිනෙ නිකන් පස් වෙනවට වඩා, ඔන්න කොහේද කියල ඇහුවම දීපු උත්තරේ. අපේ සන්දීපයා වගෙ  මම නම් මගේ බයික්කේ අනුන්ගේ ගෙවල් වල පස් වෙන්න දුන්නේ නෑ. පව් මාධවයා! ඌට තමයි සන්දීපයගේ කරත්තෙට හෙවන දෙන්න වුනේ.

කොහොමින් කොහොම A/L ජීවිතේ ප්‍රදානම කොටසක් වුනේ බයිසිකලේ තමයි. ඕන මහ වැස්සක, දකුණු අතින් king size කුඩෙත් ඉහලන්, වම් අතින් පොතට මැදි වෙච්ච cd ටිකයි හැන්ඩ්ල් එකයි ආං බාං කරන්, එක මඩ බින්දුවක් වත් ඉහෙන්නෙ නැතිවෙන්න mud guardනුත් නැති බයික්කෙන් පන්ති ගියපු කාලේ නම් පට්ටම සුන්දරයි.


2011-04-23

9 සීලවඩිච්චි

සීලවඩිච්චි කාල තියනවද? අඩු ගානේ අහල තියනවද සීලවඩිච්චි ගැන? මම නම් කාල තියනවා. එක පාරටම සීලවඩිච්චි ගැන මතක් වෙච්ච හේතුව කියන්නම් ඉස්සෙල්ලාම. අවුරුද්දට ඉතින් අපිත් ඇවිදිනවනේ රට සේරොම. මමයි අම්මයි පහුගිය දවසක ගියා අපේ නෝනෙ අක්කලගේ ගෙදර. නෑකමට නම් අපෙ පුංචි නැන්දගේ දුව. මට මුලින්ම මාමේ කියපු පොඩි එවුන් දෙන්නගෙ අම්මා.

අක්ක තමයි අපිට සීලවඩිච්චි හදල දීල තියෙන්නේ. එකට විශේෂම හේතුව වුනේ අත්‍යවශ්‍ය වෙච්ච දෙයක් තිබුනේ අක්කලගේ ගෙදර. මේක හදන හැටි හරියටමනම් මතක නෑ. හැබැයි මතක හැටියට කියන්නම්. හදල බීල මුකුත් වුනාට පස්සේ මට විතරක් බනින්න එපා හරිය. 

හොඳවයි කුරුම්බා ගෙඩියක් තමයි මුලින්ම ඕනේ. කුරුම්බා කිව්වමයි මතක් වුනේ, දැන් කාලේ ඉතින් කුරුම්බා හොයනත් නෑනේ. මිනිස්සු කුරුම්බා පොල් වෙනකන් තියල වික්කම මාර ලාබයිනෙ නේද. තැඹිලි නම් තියනව, හැබැයි අපෙ වැඩේට හරියන්නෙ නෑ. කේරලෙන් ගෙනාපුව වුනත් කමක් නෑ කුරුම්බම වෙන්න ඕනේ.

කුරුම්බා ගෙඩිය කපල වතුර වෙන් කර ගන්නවා. ගෙඩිය පලලා ලොඳෙත් හූරල වතුරටම දානවා. ඕකටම සීනිත් දානව කියලයි මතකේ. ඊට පස්සේ තමයි අර කියපු අත්‍යවශ්‍ය වෙච්ච දේ ඕන වෙන්නේ. ඒ තමයි මොනිස් විස්කෝතු. අක්කලගේ තාත්තා සතියකට පාරක් විතර කොළඹ ගිහින් එන කොට අනිවාර්යෙන් ගේන ජාතියක් තමයි මොනිස් විස්කෝතු. කාපු අයනම් දන්නව ඇති, මාර රහයි. ඉතින් මොනිස් විස්කෝතුත් කුඩු කරලා අර කුරුම්බා වතුර එකටම දානවා. ඕක ඉතින් ශීතකරනෙක තියල ගත්තනම් ෂා....! මරු.

රත්ගමින් ගිංතොටට ආවත් හරි සීලවඩිච්චි දැක්කෙත් නෑ. දැන් ඉතින් අක්කටත් වැඩ කෝටියක් නිසා, ආපහු සීලවඩිච්චි කන්න/ බොන්න හම්බවෙන එකකුත් නෑ.

ආපහු ඔන්න සිංහලෙන්ම කිව්වා....

Reader discretion is advised

හදල බීල මුකුත් වුනාට වගකියන්නේ නැතෝ........





ප.ලි.
"මෝනිස්" කියන්නේ කලුතර පහු කරල ගාල්ල පැත්තට එන කොට තියන ප්‍රසිද්ධ හොටෙල් එකක්. හුගක් ප්‍රසිද්ධ විස්කොතු නිසා.

2011-04-13

3 කිරිල්ල, බලුදං සහ කැපෙන කරත්තය

ටික දවසකින් පෝස්ට් එකක් දාන්නත් බැරි වුන නිසා හිත හිත ඉද්දින් නිකමට වගෙ මගේ මතකෙ දිව්වා අපි පොඩි කාලේ අවුරුද්දට කරපු වැඩ කීපයකට. "යකෝ මූ පොඩි කාලේ කියල කියන්නේ, දැන් ලොකුද?" කියල කවුරුත් අහන එකක් නෑ කියල හිතමුකෝ. 

කොහොම හරි මම 7 වසරට වෙනකම් වගේ අපි හිටියේ රත්ගම. ඒ අපේ තාත්තලගේ මහ ගෙදර. ඉතින් ඒ කාලේ එක සිංහල අලුත් අවුරුද්දක් රත්ගම හිටියොත්, බොහෝ විට අනිත් අවුරුද්දේ අපේ අම්මලගේ මහ ගෙදර. ඒ කිව්වේ බෙලිඅත්තෙ. හරියටම කියනවනම් ගැටමාන්නේ. අපි ගිංතොට අලුතෙන් හදපු අපේ ගෙදරට ආවට පස්සේ නම් සිංහල අලුත් අවුරුද්දට අනිවාර්යෙන් හිටියේ අපේ ගෙදරමයි. 

අපි පොඩි කාලේ වගේම අදටත් ගැටමාන්නේ යන්න මාරම ආසාවක් තියෙන්නේ. හේතුව නිතර යන්න ලැබෙන්නේ නැතිවීමටත් වඩා, අපේ මාමා විය හැකියි. ඒ අපේ අම්මගේ බාලම මල්ලී. අපි කියන්නේ "බේබි මාමා" කියල. ඉතින් අපි ගියාම අපිට මාර සැලකිලි. සෙල්ලම් කරන්න එනවා, සෙල්ලම් බඩු හදල දෙනවා, වේල් 3ටම කවනවා. ඒ මදිවට කවන ගමන් කතාත් කියනවා. අපි ගැටමාන්නේ යන්න තිබ්බ ආසාව කොච්චරද කියනව නම්, අම්මට පේපර්  මාකින් යන්න ඕන වුනාම කරන්නේ අපිව ගිහින් ගැටමාන්නේ ඇරලවන එක. ඔය හදල දෙනවා කියපු සෙල්ලම් බඩු තමයි මට එක පාරට මතකෙට ආවේ.

අවුරුදු නිවාඩුවට යන අපිට අනිවාර්යෙන් හදල දෙන පලවෙනි සෙල්ලම් බඩුව තමයි බට තුවක්කුව. බට කපල, සුද්ද කරලා, හොඳ හයිය අච්චු කූරක් හොයල එකට දාල තමයි වැඩේ ඉවර කරන්නේ. වෙඩි තියන්නේ කිරිල්ල ගෙඩිවලින්. ගෙදර වත්තේ ඕන තරම් කිරිල්ල ගස් තිබ්බා. වෙඩි තියනකොට අච්චු කූරත් 3-4 වතාවක් කැඩෙනවා. ආපහු අච්චු කූර දාල රෙපෙයාර් කරල පාවිච්චි කරනවා. ආපහු ගෙදර එනකොටත් ඕක උස්සන් එනවා. රත්ගම නම් කිරිල්ල හොයා ගන්න තැනක් දැනන් හිටියේ නෑ. ඒ වෙනුවට හොඳට ගැලපුන බලුදං කියල ගෙඩි ජාතියක් පංසල් වත්තෙන් හොයා ගත්තා. තුවක්කු බටේ වේලුංකාල පැලෙනකම්ම කෙරුවාව නෙවෙයි නවතින්නේ.

ඊලඟට හොඳටම මතක තියෙන්නේ "කැපෙන කරත්තය". සාමාන්‍යයෙන් නම් කෝටුවකට ටින්  පියනක් ඇනයකින් ගහල හදන නිකම්ම නිකන් කරත්තෙට වඩා මේක වෙනස්. හොඳ කෙලින් තියන දිග මකුලත කෝටුවක් අරන් ඒකෙ පහලින් "T" හැඩයට හිටින්න, තනි ඇනයකින් ගහනව තව පොඩි කෝටුවක්. දැන් ඔය පොඩි කෝටුවට කරකැවෙන්න පුලුවනිනේ. පොඩි කෝටුවේ දෙකෙලවරට හයිකරනවා රෝද 2ක්. රෝද හොඳට කරකැවෙන්න හයි කරන්නේ කොහොමද කියනම් මට මතකයක් නෑ, හැබැයි රෝද කපන්නේ නම් සෙරෙප්පු වලින් කියලනම් මතකයි. තවත් පොඩි කෝටුවක් අරන් අල්ලන පැත්තෙන් කලින් විදියටම හයිකරලා, අදිනවා ගෝනි නූල් 2ක් පහල පොඩි කෝටුවට. උඩින් තියන කෝටුව හරවන කොට යට කෝටුවත් හැරවිලා කරත්තෙ කැපෙනවා. ඔන්න යන්තන් රූපෙකුත් බලි ගෑව තේරුන්නැත්තන් බලන්න.

අනිත් වැදගත්ම එක තමයි පොල්පිති බැට් එක. අමු පොල්පිත්තකින් කපන බැට් එකකින් දෙන්න පුලුවන් බෝල පැලෙන්න. ඒත් එක්කම මකුලත් කොටු වලින්ම විකට් කූරු 3කුත්  කපා ගන්නේ ෆුල් ප්‍රොෆෙශනලි වැඩේට බහින්න. කොහොම හරි පවුලේ පොඩි නඩේ නම් අවුරුද්දට අනිවාර්ය්‍යයෙන් මදි නොකියන්න සෙල්ලම් කරන බවනම් තාම අද වගේ මතකයි.

අලුත් අවුරුද්දට කලින් ආපහු ලියන්න වෙන එකක් නෑ මම හිතන්නේ. එහෙනම් හැමෝටම සාමය සතුට පිරි, කිරියෙන් පැනියෙන් ඉතිරෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියල ප්‍රාර්තනා කරන ගමන් අපි කැපෙනවා.

2011-04-03

2 ආ මග කෙටියි, යා යුතු මග දුරයි..............

මුළු ලංකාවම බලන් හිටියත් අපිට ඕන දේ වුනේ නෑ නේද? දුකයි! මොනවා කියල කොරන්නද ඉතින්. අපේ කණ්ඩායමට වඩා ඉන්දියානු කණ්ඩායම දෙවැනි බාගයේ හොඳට සෙල්ලම් කරා කියනව ඇරෙන්න.

ඩිල්ශාන් තමන්ගේ විශිෂ්ඨත්වය තරඟාවලිය පුරාම හොඳට පෙන්නුවා. තරංගයි මැතිව්ස්නුයි ශ්‍රී ලාංකික ක්‍රිකට් අනාගතය සරු බව පෙන්නුවා. නායකත්වය කියන්නේ මොකද්ද කියල සංගා ක්‍රියාවෙන්ම පෙන්නුම් කරා. වගකීම කියන්නෙ මොකද්ද කියල අවසන් තරගෙයෙන් මහේල පෙන්නුවා.

මුරලි තවත් ජාත්‍යන්තර පිටියෙ දකින්න නොලැබෙවි. මහේල සහ සංගට ක්‍රිකට් වලින් අඩුව වෙලා තිබුන ලෝක ශූරතාවය නම් ලබන්න තවත් අවුරුදු 4ක් බලා ඉන්න වේවි.

නොලැබුන දේට වඩා ලැබුන දේ අගය කිරීමක් තමයි අවශ්‍ය. හැබැයි නොලැබුන දේ ලබා ගන්න දැන්ම ඉදන් ලෑස්ති වීමයි වැදගත්. 2007න් පස්සේ අපි ඒ ලෑස්තිවීම හරියට කරා. 2011 අවසන් තරඟයත් පැරදුනා තමයි. නොලද ජයග්‍රහනය ලබන්න 2015දි ආපහු තරඟාවලිය එනවා.

කොහොමින් කොහොම හරි වාසනාව කියන දේ ගැන කිසිම විශ්වාසයක් හිතේ නොතිබිච්ච මම, වාසනාව කියල දේකුත් බලපානවා කියල හිතන්න පටන් ගත්තා. අන්න ඒ වාසනාව 2015දී අපේ කණ්ඩායමට ලැබේවා කියන්නේ අපේ අනු ශූරයන්ට සුබ පතමින්.

"ධීර නගා දී හිරුත් සඳුත් යට
ශ්‍රී ලංකා දිනේ ලෝකේ" - සිංහ උදානය

2011-03-17

5 නංගි පෙන්නා අක්කා දීග දීම

පහුගිය ටිකේ අපි exam stress එක අඩු කරගන්න කියල කරේ අතරින් පතර මැච් බලපු එක. අපේ floor එකේ TV එකක් තියන නිසා ඇක දැමිල්ලයි, TV බැලිල්ලයි හොඳට synchronize කරගන්න ඇහැකි වුනා. ඉතින් ඔය අතරෙදි අපේ එවුන්ගෙ ඇඟේ ලේ රත් කරන වැඩක් නිසා, ජාතික රූපවාහිනියේ eye නාලිකාවේ  මැච් එක අතරේ දැන්වීම් දාන  එකාට ජාතිය අමතන්න වුනේ 2-3න් පාරක් නෙවෙයි. ඌ එතන හිටියනම් ජොබ් එක අත ඇරල ගෙදර යනවා ෂුවර්.

කට්ටිය හැබැහින් දැකල තියනවද නංගි පෙන්නල අක්කා දීග දෙනවා? ඔව්වා එච්චර හොඳ දේවල් නම් නෙවෙයි කියලා කෙනෙක් කියන්න පුලුවන්. ඇත්ත, හැබැයි මේවා සිද්ද වෙන දේවල්. වැඩියම කලබල වෙන්නත් එපා. මේ කියන නංගි තමයි ලෝක කුසළාන ක්‍රිකට් තරඟ. විශේෂයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම තරඟ වදින ඒවා. එතකොට අක්ක තමයි ඔය අතරෙ යන දැන්වීම් ටික.

හේතුව තමයි ඕවරයකට, අපිට බලන්න වෙන්නේ බෝල 5ක් වීම. පලවෙනි බෝලෙන් බාගයයි, අන්තිම බෝලෙන් බාගයයි. අන්තිම බෝලේ no හරි wide වුනොත් තව එක බෝලයක් ඉවරයි. විකට් එකක් ගියත් එච්චරයි. Channel eye එක විතරයි ටිකක් හරි හරියට වැඩේ කරකගෙන හිටියේ. දැන් උනුත් එච්චරයි.

මීට ගොඩක් කාලෙකට කලින්ම ස්වර්ණවාහිනියට ක්‍රිකට් තරඟ දෙන එක නැවැත්තුවේ අරවින්දගේ slip catch එකක් ඉන්සමාම් බාගෙට අල්ලලා, තීරනේ තුන් වැනි විනිසුරුට දාපු වෙලාවෙ දිගටම දැන්වීම් දාපු එක ආසන්නතම සිදුවීම කරගෙන කියලයි මගෙ මතකේ. සිරසට නම් news 1st නේ. අහවල් රෙද්දට මැච් පෙන්නන්න ගන්නවද මන්දා.

නිකන්ම නිකන් පෙන්නන්න කියනවා නෙවෙයි. එගොල්ලොත් ලාබ ලබන්න එපැයි. ලාබ ලබන්න කියල මැච් එක කපලා දැන්වීම් දාන එක කැතයි කියලා කියන්නයි ඕන වුනේ.

කොහොමහරි දැන් වෙලා තියෙන්නේ උනුත් එකයි, මුනුත් එකයි, තොපිත් එකයි වගේ සීන් එකක්. කට්ටියට නංගි පෙන්නලා, අක්ක දීග දෙන හැටි බලන්න ඕනේ නම් බලා ගන්න හෙට හවස 2.30 ඉඳන් රූපවාහිනිය ඉස්සරහ වාඩි වෙලා channel eye කරකවන්න.

සැ.යු. -
ඉහත ප්‍රකාශය අදාල වන්නේ අක්කාට වඩා නංගී ලස්සන අවස්තා වලට පමනක් බව කරුණාවෙන් සලකන්න.  නංගිට වඩා අක්ක ලස්සනනම් ඉතින් එපා කියන්නේ නෑනේ :P

2011-03-16

8 ඇන්ටිට තමයි වැඩිපුරම ආදරේ .........

හුඟක් දවසකින් ලියන්න බැරි වුනේ පහු ගිය ටිකේ දිගටම අපිට exam තිබුන නිසා. තවත් subject 2ක් තියෙන්නත් තියනවා. ඡන්දෙ නිසා හොඳ වෙලාවට අපිට පොඩි break එකක් හම්බ වුනා. ඔන්න එහෙනම් කතාවට බැස්සා. මතකද කට්ටියට පුංචි කාලේ? මොන්ටිසෝරි යන කාලෙ විතර. සාමාන්‍යයෙන් කවුරු හරි අමුත්තෙක් ගෙදර අවොත් හරි, අපි වෙන කොහේ හරි ගියොත් හරි නොවැරදීම අහන ප්‍රශ්නයක් තමයි අද කතාවට මුල් වුනේ.

ඉතින් ඔහොම මුන ගැහෙන අමුත්තා කිසි චකිතයක් නැතුව පොඩි එකාව හුරතල් කරල කතා කරල අන්තිමට අහනව නියම ප්‍රශ්නයක්. "පුතා වැඩිපුරම ආදරේ අම්මටද තාත්තටද?" ඔන්න ප්‍රශ්නේ. ඉතින් පොඩි එකා ෆුල් හොල්මන්. අම්මට ආදරෙයි කිව්වොත් තාත්ත තරහ වෙයිද? තාත්තට ආදරෙයි කිව්වොත් අම්මා තරහ වෙයිද? සාධාරන බයක් ඇතිවෙනවනේ, නැද්ද මං අහන්නේ? පොඩි එකාගේ අර්බුදේ උග්‍ර වෙන්නේ ප්‍රශ්නෙ අහන කොට අම්මයි තාත්තයි දෙන්නම ලඟ හිටියොත් තමයි. මේ කරදරේ වැඩිම කාන්තා පාර්ශවෙන් තමයි. ඒ කියන්නේ ඇන්ටිලගෙන්.

ඔය කරදරේට මමත් මුහුන පාලා නැතුවම නෙවෙයි. හැබැයි මම ගාව තිබ්බ අහන කෙනාගෙ කනෙන් රිංගල යන්න පුලුවන් සරල උත්තරයක්. "ඇන්ටිට තමයි වැඩිපුරම ආදරේ " කියල නම් නෙවෙයි :D "දෙන්නටම" කියල. උත්තරෙ දීල මම ගානට කැපෙනවා එතන නොයිඳ.

කොහොම හරි ඔය වගේ වාතෙ වෙන ඇන්ටි කෙනෙක් ආවලු කොල්ලෙක්ගෙ ගෙදර. මූත් මොන්ටිසෝරි යන ඇච්ච කාලේ. මූටත් හිටියේ තව අවුරුද්දක් විතර බාල මල්ලි කෙනෙක් විතරයිලු. ඉතින් ඇන්ටි මුලින් බටර් පාර එහෙම ගාල, කොල්ලට ඉදිරිපත් කරාලු අපේ මාතෘකා වෙච්ච ප්‍රශ්නේ. ගෙදර කට්ටියම ඉන්න තැන. හැබැයි වෙන format එකකින්. "පුතාගෙනුයි මල්ලිගෙනුයි කාටද වැඩිපුරම අම්මා ආදරේ?" මූ පැනපු ගමන් කිව්වලු "මට" කියලා. ඔන්න ඒ පාර මල්ලි මූත් එක්ක යුද්දෙලු, අම්ම වැඩිපුර ආදරේ ඌට කියලා.

මුන් දෙන්නගෙ යුද්දේන් ෆෝම් වෙච්ච ඇන්ටි, ආපහු යුද්දේ අවුලවන්න කියල වෙන්න ඇති ඇහුව දෙවනි ප්‍රශ්නෙත්. "එතකොට තාත්ත ඔය දෙන්නගෙන් කාටද වැඩිපුර ආදරේ?"

පොඩි එකත් ඇරියෙ නෑ වැඩේ. මූ කට ගත්ත ගමන් කිව්ව "අපි දෙන්නටම වඩා, තාත්ත ඇන්ටිට තමයි වැඩිපුරම ආදරේ" කියල. ඇන්ටිට පොළව පලන් යන්න හිතෙන්න ඇති මම හිතන්නේ. කොහොම වුනත් ඊට පස්සේ ඔය වගෙ ප්‍රශ්න නොහා ඉන්න හිතා ගන්නවත් ඇතිනේ.

2011-02-25

0 නොතේරෙන තේරවිල්ල



එපා කොට ලං වෙන
ඕන කොට ඈත් වෙන
නැංගුරමක්ද
ආදරය.......?



ඇදල අරන්
දමල ගහන
පිපුන ගමන් පරවෙන මල
ගිනි කූරක්ද
යාළුකම.......?



පද ගලපලා
කණපිට හරවලා
තවම නොතේරුන
තුන් තේරවිල්ල 
ඔබ.......

2011-02-11

5 මාස 2ක් කෙටියෙන්

සඳුදා කැම්පස් පටන් ගන්නවයි කියන්නේ. දැන් ඉතින් නිවාඩුවත් ඉවරයි. කැම්පස් යන්නේ මාස 2කටත්  වඩා පොඩ්ඩක් වැඩි කාලෙකින් නිසා යන්න කම්මැලි කමකුත් නෑ වගේ. ගෙදර ඉන්න කොට ඉතින් හොඳට කාල බීලා නාල ඇඳලා හිටියට වැඩකට ඇති වැඩක්නම් කෙරෙන්නේ නෑනේ. ඒ වුනාට මේ පාරනම් එක එක ජාතියේ වැඩ ටිකක් කර ගන්න පුලුවන් වුනා.

නිවාඩු කාලේ පටන් ගත්ත මුල්ම වැඩේ, අර රිමෝට් එකෙන් කාමරෙ ලයිට් එක නිවන්න - පත්තු කරන්න හදපු අයිටම් එක. ඒක නම් එළටම ගොඩ දාගත්ත. ඔන්න තියනව පින්තූරෙකුත්. හිතුවට වඩා හොඳ නිමාවක් ගන්නත් ඇහැක් වුනා. ඉර එලියෙන්වත්, වෙන මුකුත් ප්‍රභවයකින්වත් interferences නැති වෙන්නම ඇණේ ගැහුවා. හදන්න ඕන කෙනෙක් ඉන්නවනම්, කෙලින්ම අපේ අරුණ මහත්තය ඇමතුව නම් හරි. මොකද design එක proprietary එකක් නොවැ ;)

මාස 2ටම ඇකක් දාගන්න නම් බැරි වුනා. හැබැයි CCNA exam එක නම් ගොඩ දාගත්ත. හිතාගෙන හිටියෙ exam එක කවද කරන්න වේවිද කියල sure නැතුව. උන්න හැටියට මළා මැදැයි කියල SMPS එකත් අටව ගත්තා. මේ ලියන්නෙත් ඒකෙ පොඩි පොඩි වැඩ ටිකක් කරන අතරෙදිමයි. SMPS හදන එකත් මාරක අනතුරු සහිත ක්‍රියාවලියක් නොවැ. Capacitor එකක් පුපුරන්න ගිහින් පාරක් යන්තම් බේරුනේ. ඇඟිල්ලක් බවුත් එකට පිච්චිලා හොඳ වුනේ ඊයෙ පෙරේදට. ඊයෙ රෑ අත කීප සැරයක්ම පිච්චුනේ අම්බානක රත් වෙලා තිබ්බ FET එක අල්ලන්න ගිහින්. ඇයි ඒ විතරක් නම් කමක් නෑ, මගේ පොකට් එකට තමයි බරපතල ලෙස හානි වෙලා තියෙන්නේ. දැනටත් රුපියල් වලින් 2000ක් විතර කයිට් වෙලා. අපේ මීයලා මේවට සම්මදන් වුනා නම් තමා, පොකට් එක ICU එකෙන් එලියට ගන්න ඇහැක් වෙන්නේ.

ඔය අතරේ ඉතින් වෙනදා වගෙම අපි විනෝද වෙන්නත් අමතක කරේ නෑ. රූමස්සල සුදු වැල්ලේ දාපු ලෝකල් BBQ එකට නම් සම්පුර්ණ credit එක පුබාගේ මස්සිනාට. අම්මෝ එදා නම් යන්තන් ගෙදර යාගත්ත රෑ 8-9 විතර වෙන කොට. දෙනියාය පැත්තෙන් සිංහරාජේ ගියෙත් පහුගිය නිවාඩු කාලේදිමයි. දවස් 3ක් එහේ හිටියයි කියමුකෝ. තවත් දිය ඇලි නම් එපා කියාගෙනයි අපි ගෙදර අවේ. හතක්ම බැලුවනේ, දියඇලිම. :D

අන්තිමට අපේ RCG 2006 Group එකේ get together එක. සූ ගාල කොල්ලෝ ටික ඇවිත් හිටියා. පළවෙනි get එකේ සතුට නම් අපේ ඉහටත් උඩින්. අයේ ඉතින් සුපිරිම ආතල් එකක් ගත්ත. සමහරු නම් කිව්වේ "උඹ ආතල් ගත්තා, අපි චාටර් වුනා" කියලා. ඒවත් වෙන්න එපැයි. නැද්ද මං අහන්නේ?

2011-02-03

6 සෝඩා බෝතලේ කැඩුවා වගේ

පහු ගිය දවස් වල වෙච්ච සීන් එක්ක නම් සෝඩා මතක් වෙද්දිත් මල පනිනවා. ඒත් ලියනව කියපු නිසා ලියන්නත් එපැයි. හරි, කවුරුත් මම හිතන්නෙ දන්නවා "සෝඩා බෝතලේ කැඩුවා වගේ" කියන කියමන. සෝඩා බෝතලයක් කැඩුවම මුලින් හෝ ගාල පෙන බුබුලු එහෙම දාල පටන් ගන්නෙ. වැඩි වෙලාවක් යන්න ඕනේ නැහැ නිකම්ම නිකම් වතුර වගේ වෙනවනේ. ඒ කියන්නේ මොකක් හරි වැඩක් දැඩි ඕන කමකින් පටන්ගන්නවා. හැබැයි වැඩෙ දවසින් දෙකින් දියාරු වෙලා යනවා. පටන් ගන්න මොරාල් එකේ කෑලිවත් හොයන්න නෑ.

මගෙත් හුඟක් වැඩ සෝඩා බෝතලේ කැඩුවා වගේ කියල කීපදෙනෙක්ම මට මූණටම කියල තියනවා. කියපු හන්දමත් නෙවෙයි කල්පනා කරල බැලින්නම් කතාවේ ඇත්තක් නැත්තෙත් නෑ. ඔන්න එහෙනම් බලාගනිල්ල මගේ සෝඩා වැඩ ලිස්ට් එක.

මුලින්ම මට මතක ඇති විදියට නම් මාළු ඇති කිරිල්ල. මාළු කිව්වේ සුරතල් මසුන්. පොඩි කාලේ හිටියේ රත්ගමනේ. එහෙ ගෙදරට පහලින් ගෙදරක මාළු ඇති කරා. ඔන්න කොල්ලටත් පිස්සුව හැදුන මාළු ඇතිකරන්න. ගෙදර තිබ්බ ප්ලාස්ටික් කෑන් එකක් කපල යට බොරලු ටිකකුත් දාල, වතුර පුරවල ඉල්ලන් ගෙනත් දැම්ම ගුරාමි දෙන්නෙක්. මුල් සතියෙ විතරක් 10 පාරක් විතර ටැන්කිය සුද්ද කරා. මාළු දෙන්නම මලා. මගේ පිස්සුව හොඳ වුනා.

ඊ ලඟට පරෙවි ඇතිකිරිල්ල. අමාරුවෙන් කොහොම හරි ලෑලි කෑලි ටිකක් එකතු කරලා කූඩුවක් හදා ගත්ත කියමුකෝ. පරවියෙකුත් ගෙනල්ලා කූඩුවට දාල නිදා ගත්ත. පහුවෙනිදා උදේ කූඩුව ඇරිය විතරයි පරවියා පියාඹල ගියා. ගත්ත තැනින් කිව්වා "ඇයි මල්ලි පිහාට්ටට ගහල තිබ්බ කට්ට ගැලෙව්වේ" කියල. ඒ ආසවත් ඉවරයි.

මාත් එක්ක කෝච්චියේ ගියපු අමිලය, දර්ශනය, ත්‍යාගය වගේ හෙන සෙට් එකක් ඔය කාලේ බාස්කට් බෝල් ප්‍රැක්ටිස් ගියා. මමත් ඉතින් මගේ සෝඩා මොරාල් එකත් හදා ගෙන ගියා ප්‍රැක්ටිස්. දවස් 2යි හරි 3යි හරි, බෝලෙ වැදිල ඇඟිලි 2ක් උළුක්කු වුනා. කෝචා කිව්වා ඔය විදියට අනිවාර්යෙන්ම ඇඟිලි 10ම උලුක්කු වෙනව කියල. ඔන්න ඒක නවත්තන්න හේතුව.

පිහිනුම් කරන්න කියලත් පාරක් ගියානේ. ඒකේ ප්‍රැක්ටිස් තිබුනේ ගාල්ලේ ජැටියේ. මම ගියපු දවස් ටිකේ නම් මුහුදත් පට්ට සැරයි. ඔය කෙරුවාව නවත්තන්න නම් මුල් වෙච්ච හෙතුව හරියටම මතක නෑ. බැඩ්මින්ටන් කියලත් යලට මහට මාස 3ක් විතර ගියා. ගෙදර ඉඳන්ම ප්‍රැක්ටිස් වෙනවා කියල හිතලා ඒ යෑමත් නැවතුනා. 

බාලදක්ශ කරන්න කියල කොලපාට කමීසෙකුත් මැස්සුවා. මක්කද නීතිද, දිවුරුම්ද පාඩම් කරන්න තියන කම්මැලි කමට එකත් නැවැත්තුවා. අම්මා ඊයෙ පෙරේද කොල පාට කමීසෙන් දූවිලි පිහිදාන කොට තමයි බාලදක්ශත් කොරා නේද කියල මතක් වුනේ.

ජූනියර් බෑන්ඩ් එකටත් ගියා කියමුකෝ. සංගීතයේ මල පොතේ අකුරවත් නොදැන මොන බෑන්ඩ් ද? නැද්ද මම අහන්නේ. ඉලෙක්ට්‍රොනික් පිස්සුවක් හැදිල රේඩියෝ ක්ලබ් එකටත් ගියා. ඒ දවස් වල ට්‍රාන්සිස්ටර් කිව්වම මඤ්ඤ මෝල් වෙනවා. නිකන් මෝල් වෙන්නේ මොකටද කියලා එකත් නැවැත්තුවා. පස්සේ කාලෙක නම් හිතුනා රේඩියෝ ක්ලබ් නැවැත්තුවේ හොඳ වෙලාවට කියලා :P

දහම් අධ්‍යාපනය හැරුනු කොට තිබුනු වෙනත් අරමුනක් නිසා, දහම් පාසල් නම් මාස 5, 6 බැගින් කඩින් කඩ ගියා. හැබැයි කිසිම දහම් පාසල් තරඟයකට හෝ විභාගයකට පෙනී ඉඳලා, සහතිකයක් නම් අරන් නෑ.

සහතිකයක් කියල පෙන්නන්න තියන එකම එක තියෙන්නේ චෙස් වලින්. එකත් ඉතින් අවුරුදු එක හමාරකට, දෙකකට වඩා කරේ නෑ.

දැන්නම් හිතෙනවා ඔය මොන මගුල් වලින් හරි එකක් හරියට කරන්න තිබ්බ නේද කියල. මොනවා කරන්නද? දැන් ඉතින් ප්‍රමාද වැඩියිනේ. හැබැයි ඉතින් ආපහු කරත් ඔය ටිකම ආපහු වෙන්නත් බැරි නෑ. නැද්ද මම අහන්නේ?

2011-01-28

5 දණ ගානවද යකෝ

13 - C රෙජිස්ටෙරේ 

මේ ඉරිදා අපේ අවුරුද්දේ අපේ උන් ටික සෙට් වෙන අපේ ගෙට් එක. අපේ කිව්වෙ අපේ ඉස්කෝලෙ සෙට් එක. අපේ උන්ගේ ඇතුලත් වීමේ අංක ටික ගන්න ඕනෙ කමකට කසුන් අද ඉස්කෝලෙට ගිහිල්ල අපේ පරණ රෙජිස්ටර් ටික හොයා ගෙන ඇවිත් තිබුනා.  ඔන්න දැම්මා රෙජිස්ටෙරේ පින්තූරෙත්. 

මේක දැක්කම අපේ උසස් පෙල පන්තියේ උගන්නපු මිස්ල, සර්ල ටික අමතක කරන්නම බැහැ. මිස්ල කිව්වට වන් ඇන්ඩ් ඔන්ලි අපේ පන්ති භාර හිටපු සාවිත්‍රි මිස්. මිස්ම තමයි physics කරේ. chemistry කරපු වික්‍රමසිංහ සර්. pure කරපු රංජිත් සර් සහ applied කරපු නිමලරත්න සර්. ඇයි english කරපු පෙරේරා සර්. මිස්ට කෙසේ වෙතත් සර්ලට නම් පාවිච්චි වුනේ ඔය කියපු නම් වලින් එකක්වත් නෙවෙයි :D

දැන් ටික දවසකින් ලියපු නැති නිසා, ඉස්කොලේ දවස් වල සිද්ධ වෙච්ච පොඩි චාටර් සීන් එකක් ලියන්න හිතුනා අද. නැත්තන් කට්ටිය කියාවි මුගේ බ්ලොග් ලිවිල්ලත් සෝඩා බෝතලේ කැඩුවා වගේ කියලා. කොහොමත් මගේ හුඟක් වැඩ සෝඩ බෝතලේ කැඩුව වගේ තමයි. ඒවා පස්සෙ වෙනම පොස්ට් එකකින් ලියන්නම්.

ඔන්න වැඩේ. කතා නායකයා මම. සහය නළුව මාධවය. දින වකවානුව නම් අර අමුතු ජාතියෙ 'ස' යන්න ආපුම කාලේ. ඒ දවස් වල ඉතින් කොහෙන් හරි CD එක කොපි කරගෙන තිබුන එකාට එක කොපිය ගානේ. ඕක ඒ දවස් වල කට පාඩම්. නිකන් ඉන්න කොට මුමුනන්නෙත් 'ස' යන්නෙ තියන සින්දුවක් තමයි. අදටත් අපරාදෙ කියන්න බෑ අමුන ගන්න පුලුවන් කොහොම හරි. අපි පාවිච්චි කරපු catch phrasesනුත් ඉතින් ඕකෙන්ම අහුල ගත්ත ඒවා තමයි. අහපු අය දන්නව ඇති, හුගක් තිබුනෙ අර මුස්ලිම් මනුස්සයෙක් විදියට කතා කරන ටිකේ, ෂා..... ලස්සන කියල නිම කරන්න බෑ. මාරෙටම rhyme වෙනවා. මාරම catchy.

ඉතින් දවසක් මාධවය මොකක් හරි බල බල ඉද්දි මම උගෙන් ඕක ඉල්ලුවා. මොකද්ද කියල නම් මතක නෑ. මූත් නෑහුනා වගේ ඒකම බලනවා. ඉතින් මම ඌට තේරෙන බාසාවෙන් ලස්සන catch phrase එකකුත් දාල කිව්වා "*** ලඟ දණ ගාන්නෙ නැතුව, ඕක දීපිය" කියල. phrase එක තිබුනේ  'ස' යන්නේ "පෙම්බර මදූ මගේ" සින්දුවට පාවිච්චි කරපු විස්තර විචාරේ වගෙයි මට දැන් මතක. දන්නෝ දනිති :p

කියලා හැරුන විතරයි මිස් පිටිපස්සේ. බිම හාර ගෙන යන්න නෝන්ඩිය. ඒ වගේද මිස් දිහා බලන්නත් බයයි. මිස් ෂේප් කරගන්නත් එපැයි. ඉතින් මේ ලෝකෙ නැති ඒවා මිස් එක්ක කතා කරනව damage එක control කරගන්න. මිස් නේද, කිසිම response එකක් නෑ. මතක විදියට එදා සිකුරාද දවසක්ද කොහෙද. කොහොම හරි එදා ගෙදර ගිහින් මුලු සති අන්තෙම කල්පනා කරල කරල, සඳුදා උදේ පාන්දරම දඩ physics ගානක් උස්සන් ගිහින් කිව්ව මේක කියල දෙන්න කියලා. ගාන කොහොම හරි මිස් අපිට කියල දෙන්න එපැයි. හිතුවා වගෙම මිස් ගාන කියල දුන්න. අපිත් normal එකේ ෂේප් වුනා. අපි කිව්වට මමනෙ චාටර් වුනේ. මමත් ෂේප් වුනා.

රෑ වැටිච්ච වලේ දවලුත් වැටෙනවා වගේ, ඕකම තව පාරක් වුනා. ඉතින් සුපුරුදු ගැටේ ගහල බේරුනා. ඔය ඔක්කොම වුනේ 12 වසරෙදි. 13 වෙන කොට මිස් අපිත් එක්ක මාර ෆිට්. ඒක නිසයි, Science Day එක නිසයි, මට නම් 13 වසරෙදි ඉස්කොලෙන් හොරාට පැනීමේ භාග්‍ය අහිමි වුනා. මොකද, යන්න ඕන වුනාම මිස් පන්තියේ උගන්න උගන්න හිටියත් "මිස්, මම යනව" කියල යන්න පුලුවන්කම හම්බ වුනා. වැරදිලා හරි මාට්ටු වුනොත් Science Day එක උකස් කරා.

හැබැයි අපේ උන් පනින්න ගිහින් මාට්ටු වෙලා බයිසිකල් කර ගහ ගෙන, කනේ පාරවල් කාල ප්‍රධාන කාර්යාලය ඉස්සරහ හිටපු හැටිත් මතක් වෙනවා. මගේ මතකෙ හරිනම් මාධවයයි, කසුනුයි, පනන්ගලයයි 3දෙනා පාරක් ප්‍රින්සිපල්ගේ අතටම මාට්ටු වුනා. අවුලක්නම් වුනේ නැද්ද කොහේදැයි.

අර 'ස' යන්න cd එක නම් දැන් නෑ. මාධවයගේ එක තියෙයිද දන්නෙනෑ. ඕවා නිසි ලෙස සංරක්ශණය කරන්න ඕන එව්වා නොවැ. හික්, හික්. ඇතිනේ. කුනුහරුප ලියවුනේ නැතුව ඇති කියල හිතමු. මගේ "සෝඩා බෝතලේ ඇරිය වගේ" වැඩත් එක්ක ආපහු එන්නම්.

2011-01-17

2 ටින් ටින් ගේ වීර ක්‍රියා : 3 කොටස

මගේ පාසල් මිතුරකුගේ මවගේ වියෝව නිසා පහු ගිය දින කීපයම තරමක් කාර්යබහුල වුනා. මේ ඉතිරි pdf ටික upload කරල තිබුනත් බ්ලොග් එකේ පොස්ට් කරන්න වෙලාවක් තිබුනේ නැති තරම්. ඔන්න කොහොමින් කොහොම හරි පොරොන්දු වුන විදියට ඔක්කොම දැම්මා. 

මුල් කොටස් වලට මෙතනිනුයි, මෙතනිනුයි යන්න ඇහැකි. 

එහෙනම් ඉතුරු ටිකත් බා ගත්තනං




Prisoners of the Sun >>















The Red Sea Sharks >>



In Tibet >>



The Castafiore Emerald >>



Flight 714 >>



The Picaros >>



Alph Art >>

2011-01-14

6 ටින් ටින් ගේ වීර ක්‍රියා : 2 කොටස

ඔන්න දෙවනි කොටසින් තවත් pdf 6 upload කරල ඉදිරිපත් කරනවා. තව 12ක් තියනවා upload කරන්න. ඒ ටිකත් පස්සේ දාන්නම්.

කලින් කොටසේ තිබුන මුල් pdf 2 කළු සුදු වීම ගැන කනගාටුයි. ඒවයි වර්ණ සහිත කොපියක් තියන පින්වතෙක් හෝ පින්වතියක් අපිටත් ඒක දුන්නනං....

ඔන්න බාගන්න.

The Black Island >>
















2011-01-13

9 ටින් ටින් ගේ වීර ක්‍රියා : 1 කොටස

මතකද ඉස්සර ජාතික රූපවාහිනියේ ගියපු කාටුන් ගොඩ. පිස්සු පූසා, දොස්තර හොඳ හිත, වගේ අමතක නොවෙන තවත් අපූරුම කාටුන් එකක් තමයි ටින් ටින් ගේ වීර ක්‍රියා කියන්නේ. මතක හැටියට නම් බ්‍රහස්පතින්දා හවස 5.30ටද කොහෙදෝ විකාශය වුනේ. මේක හිටි හැටියෙම මතක් වුනේ Facebook එකේ තිබිච්ච පින්තුර ටිකක් දැකලා. කවුදෝ ටින් ටින් ගේ වික්‍රම නමින් පල වෙච්ච සිංහල කාටුන් පොතේ පිට කවර ටික පොස්ට් කරල තිබුනා

ඉතින් මමත් තම පොඩි එකානෙ. ඉතින් ආපහු ටින් ටින් බලන්න ආස හිතුනා. කොච්චර හෙව්වත් මට ඕන වුන ටික නම් හොයා ගන්න බැරි වුනා. එතකොට තමයි මතක් වුනේ මම ගාව තිබුන The Adventures of Tin Tin, comics  වල pdf ටික. පොඩ්ඩක් පෙරලලා බැලින්නම් තාම ඒ CD එක කිසි අවුලක් නැතුව තියනවා. ඉතින් ආපහු ටිකෙන් ටික එක කියවන්නයි හිතන් ඉන්නේ.

ඔන්න කියවන කට්ටියටත් බලන්න දෙන්න හිතුන නිසා ඒ ටික 4shared වලට upload කරල බෙදල දෙන්න හිතුනා. දුන් දේ සුවඳයි කියනවලුනේ :P ඔක්කොම pdf 24 ක් තියනවා. අද ඒවයින් 6ක් දාන්නම්. ඉතුරු ඒව ටික  upload කරල හෙමිහිට පස්සේ දාන්නම්. දන්නවනෙ ඉතින් අපේ අන්තර්ජාල පහසුකමේ වේගෙ.

ආහ්: කියන්න බැරි වුනා, කලින් පොස්ට් වලට comment කරපු අයට බොහොම ස්තූතියි :)

ඔන්න එහෙනම් බාගන්න.











Cigars Of the Pharaoh >>



The Blue Lotus >>



The Broken Ear >>

2011-01-10

13 වසර 13ක් කියන්නෙ යුගයක්

"වසර 13ක් කියන්නෙ යුගයක්, වසර 13ක යුගයක් රිච්මන්ඩ් ඇකයේ නිමා කරන අපි, තවත් එවැනිම යුගයක් රිච්මන්ඩ් ඇකයේ නිර්මාණය වෙන හැටි සතුටු කඳුලු වැගිරෙන දෙනෙතින් යුතුව බලා ගෙන ඉන්නවා" ඒ මගේ වචන නෙවෙයි. ව්‍යවහාරික වර්ශයෙන් 2005 වැන්නේ නොවැම්බර් 3 වැනි බ්‍රහස්පතින්දා රිච්මන්ඩ් විද්‍යාලීය ප්‍රධාන ශාලාවේ රැව් පිලි රැව් දුන්න සංදීපගේ වචන හරඹයෙන් කොටසක්. අපි අද ආපහු ඉස්කෝලේ ගියා. ඒ ගත කරපු පැය කීපයට අපි ආපහු අපේ ඉස්කෝලෙ කාලෙට ගිහින් ආව වගේ දැනුනා.

RCSS Logo
ඒත් හදිස්සියේම කලින් කිව්ව වචන ටික මතක් වුනේ අපේම මල්ලිලා ලහි ලහියේ රිච්මන්ඩ් විද්‍යාලීය විද්‍යා දිනයට ලක ලෑස්ති වෙන හැටි දැක්කමයි. එදා සංදීප ඔය ටික කිව්වෙ 2006 උසස් පෙල කණ්ඩායම විසින් කරපු "විදුරුත් නින්නද 2005" රිච්මන්ඩ් විද්‍යාලීය විද්‍යා දිනයේ අවසාන විනාඩි කීපයේදියි. එම වර්ශයේ විද්‍යා සංගමයේ සභාපති විදියට, මට අපේ විද්‍යා දිනය සම්භන්දයෙන් සටහනක් තියන්න හිතුනේ "විදුරුත් නින්නද 2011" අති උත්කර්ෂවත් අන්දමින් කරන්න ලෑස්ති වෙලා ඉන්න මල්ලිලාට ධෛර්ය්‍යක් වෙන්නයි.

2004 වර්ශයේ හිරාන් චන්ද්‍රසේන අයියාගේ සභාපතීත්වයෙන්, එම වසරේත් සාර්ථකම විද්‍යා දිනය දැකපු අපේ උන්ට ඊට එහාට යන විද්‍යා දිනයක් කරන්න ඕනෑකම ආවා. ඒ ගත්ත ශක්තියෙන් අපිත් විද්‍යා දිනයක් කරන්න පටන් ගත්තේ 2005 වර්ශයට විද්‍යා සංගමය අළුත් කරගෙනයි. කියන්න ලේසියි, කරන්න ගියාම තමයි අමාරුව. විවිධ බාධා හමුවේ, අපේ උන්ට ඒ ඉලක්කය සොයා යාම එච්චරම පහසු වුනේ නෑ.

අපේම දායකත්වයෙන් සහ ආදි රිච්මන්ඩ්වරුන්ට පිං සිද්ද වෙන්න මූල්‍යමය ශක්තිය තහවුරු කරගත්තා. අපි අතරින්ම සොයා ගත්ත බ්‍රයිටො ටික ප්‍රායෝගික පරීක්ෂණ ඇතුලත් කරමින් අති විශිෂ්ඨ අන්තර් පාඨශාලීය තරඟයක් නිර්මාණය කරා. "වෙළඳපොල අධිකාරියට යටත් වුණු ලෝකයක අපි උඩුගං බලා පිහිනමින්, දැන්වීම් වලින් තොර සඟරාවක් ඉදිරිපත් කලා" ඒ සංස්කාරකවරුන්ගේ වචන.

විද්‍යා දිනය සංගීත සාජ්ජයක් බවට පත් නොකරගෙන, සිටියවුන්ට උපරිම විනෝදාස්වාදයක් දෙන්න තරම් අපේ උන් නිර්මාණශීලී වුනා. කෙල්ලො සහ කොල්ලො වෙනම කණ්ඩායම් 2කට බෙදලා, ලබා දුන්න රසායන විද්‍යා ගැටලුවට වගේම එහි ඉදිරිපත් කිරීමටත් මාස ගානක් යනකන් ප්‍රතිචාර ලැබුනා. විවිධ තාක්ෂණික කටයුතු හෙව්වෙ බැලුවෙත් අපේම සොයුරන්. ප්‍රධාන දේශනය මනෝ වෛද්‍ය ඩී. බී. හරිස්චන්ද්‍ර මහතාගෙනුයි. මම කලින් කියපු තරඟයේ ජය මහින්ද විද්‍යාලයට හිමි වුනා.

නම් ගම් ලියන එක අඩු කරේ, එහෙම ලිව්වොත් මට පන්ති 10ක හිටපු 450-500ගේ විතර නම් මෙතන ලියන්න වෙන නිසා. කමිටුවට සීමිත දෙනෙක් පත් වුනත්, විද්‍යා සංගමය කියන්නේ 12 සහ 13 වසර වල ව්‍යවහාරික සහ ජීව විද්‍යා සිසුන්ගේ එකතුවයි කියන එක, "විදුරුත් නින්නද 2005" ඔස්සේ අපිට ඔප්පු කරන්න හැකි වුනා. අපේ උන්ගේ මහන්සිය ඉස්සරහා බාධක බිඳිලා ගියා, කටු අකුල් වල මල් පිපුනා, "විදුරුත් නින්නද 2005" අති සාර්ථක වුනා. අපි විද්‍යා සංගමයෙන් සහ පාසල් මෑණියන්ගෙන් සමු ගත්තේ විද්‍යා සංගමය ක්‍රිෂන් සෙනෙවිරත්න මල්ලිගේ භාරයට පත් කරලා.

අපි එදා නිර්මාණය කරල භාවිතයට ගත්ත ලාංඡනය අදත් භාවිතා කරනවා. එදා අපි භාවිතා කරපු නම "විදුරුත් නින්නද" අදත් භාවිතා වෙනවා. ඒ ගැන අපිට තියෙන්නේ නිහතමානී ආඩම්බරයක්. මේ ඔක්කොටම වඩා එදා අපේ ශක්තිය වෙච්ච ප්‍රේමතිලක සර් අද අපේ මල්ලිල එක්ක ඉන්න එක අපිට නම් අනාගතයේ සුබ පෙර නිමිත්තක්.

ලියන්න නම් දෑ බොහොමයි. ඒත් අපි ලබා ගත්ත අත්දැකීම් සමුදාය නම් කවද ලියා ඉවර කරන්න හම්බ වෙයිද දන්නෙ නෑ. ලිපිය ආරම්භ කරා වගේම අවසානයටත් සංදීපගේ වචන ටිකක්ම පාවිච්චි කරන්නම්. "ඒ ඉතිහාසය සාක්ෂි දරා ඇති අයුරින්ම එදා මෙන්ම අදත්, අද මෙන්ම හෙටත්, විද්‍යාවේ අරුත නින්නාද වේවි එක දිගට, නොනැවතී සදාකාලික වූ අනාගතයක් බලා". එසේ නම්  ඒ සම්ප්‍රදාය මත අඩි තබා යන සාම්ප්‍රදායික නොවන ගමනකට 2011 රිච්මන්ඩ්වරුන්ට, 2006 අපෙන් ගට.


ප.ලි.
ඔන්න එදා ගත්ත පින්තූර ටිකක්


     





2011-01-08

6 මාළුවා වගේ මමත් නහින්නෙ කට හින්දා

ලැබුන නිවාඩුවත් එක්ක ඉක්මනටම කරන්න තිබුන වැඩ ටික කර ගන්න ටිකක් වෙලා හම්බ වුනා. මේවයින් බොහොමයක් ඉලෙක්ට්‍රොනික් සම්බන්ද කටයුතු. මුල්ම සහ අමාරුම වැඩේ තමයි, අපේ  ඇගයීමකට හදන්න කිව්ව Switch Mode Power Supply එක. වෙනද නම් අපේ කණ්ඩායමෙ ඉන්න මීයට කියල ගොඩ දා ගත්තත්, මේ පාර මට පෝරියල් එක සෙට් වුනා. ඇත්තටම කියනවනම් සෙට් කර ගත්තා.
SMPS in bread board


මාළුවා නහින්නෙ කට හින්ද වගේ, පාරම් බාපුව ක්‍රියාවට නගන්න ගියාම තියන අමාරුව දැක්කම එපා වෙනවා. ඉලෙක්ට්‍රොනික් නම් කොකටත් තෛලෙ වගෙ ඉන්න අපේ අරුණ නොහිටින්න මම ඔළුව හැරුන අතේ ගිහින්, දැන් ඉබාගාතේ යනවා. Inductor එක ඔතන්න බන්ඩා ගත්ත මහන්සියත් අමතක කරන්න බැහැ. 

පරිපතයට යන මුදල වගෙ 3-4 ගුනයක් වියදම් කරලා, ගෙනාපු components වලින් තුන් කාලක්ම පුච්චලා ඉවර වෙලා යන්තන් එකක් අටව ගත්තා. ඒ අරුණලගෙ ගෙදරදි. ඒ බඩු ටිකම අපේ ගෙදර ගෙනැත් ගහල බැලුවා, එතකොට වැඩ කරන්නේ නෑ. රුපියල් 1500 විතර වතුරෙ දාල, ඉතුරු component ටික පැත්තකට කරල තියනවා.

local PICkit 2
තව වැඩක් පටන් ගත්ත. SONY remote එකෙන් කාමරේ ලයිට් ටික on-off කරන්න. අලුතෙන් ගත්ත local PICkit 2 එකත් අරන් වැඩේට වාඩි වුනා. Remote එකේ තියන algorithm එක decode කර ගන්න වැඩේ නම් පැය 3-4කින් කරගත්තා. දැන් තියෙන්නේ 230V එක්ක සම්බන්ද කරන වැඩේ. මේකෙත් motivation එක වගේම බොහොමයක් දුරට දැනුම සහ components සැපයීම අරුණම තමයි.

නිතර නිතර ගෙදර කට්ටිය remote එක ඉල්ල ඉල්ල එන එකට මොකක් හරි විකල්පයක් හොයා ගන්න වෙනවා. නැත්තන් මට ලයිට් on-off කරන්න වෙන්නෙ ගෙදරින් එලියෙ ඉඳන් :p ලියන frequency එක වැඩිද මන්ද. ඉක්මන් කොටයි කියල කලින් පාර  වගේ, හෙට අනිද්ද වෙනකොට බ්ලොග් කෙරුවාව නවත්තාවිද දන්නෙත් නෑ, . කොහොම හරි ඔන්න දෙවැන්න.

2011-01-07

5 එහෙනම් ඔන්න ආපහු අපි ආවා

Badges of Richmond
College & UOM
මුලින්ම නොදන්න අයට මම කවුද කියල කියලම ඉන්නම්. මම ෂානක අනුරාධ. ගෙවල් ගාල්ලේ. ඉස්කොලෙ ගියේ රිච්මන්ඩ් විද්‍යාලයට. දැනට මොරටුව විශ්වවිද්‍යාලයේ, ඉංජිනේරු පීඨයේ අවසන් වසර සිසුවෙක්. ඉලෙක්ට්‍රොනික හා විදුලි සංදේශ අංශයෙන් තමයි වැඩිදුර හදාරන්නේ. මේ ටික ඇතිනේ. සම්පූර්ණ ජීව දත්ත ඕනෙ නෑනේ.  

අවුරුදු එක හමාරක විතර කාලෙකට කලින් සිංහලෙන්ම බ්ලොග් එකක් ලිව්වා. ඒ ලිව්වෙත් "ෂානකගේ චෛතසිකය" කියලමයි. මතක අයත් කීප දෙනෙක් හරි ඇති මම හිතන්නේ. යෙදුන වැඩත් එක්ක ලියන එක අතපසු වුනා. බ්ලොග් කෙරුවාවත් ඉබේටම අහවර වුනා.

ඉතින් පහු ගිය ටිකේ අපිට පොඩි පහේ නිවාඩුවක් හම්බ වුනානේ. ඉතින් මාරම කම්මැලි කමෙන් ඉන්ඳෙද්දි හිතුනා ආපහු ලියන්න. අලුතෙන්ම නම් දානවට වඩා පරණ නමින්ම ලියන එක හොඳයි කියල හිතුන නිසා, ආපහු පාරක් "ෂානකගේ චෛතසිකය" ට ලියන්න හිතුවා. 

මගේ වෙලාවට පරණ host name එකටම බ්ලොග් එක හදා ගන්න පුලුවන් වුනා. බැරි බැරි ගාතෙ net එකෙන් ගත්තු පින්තූර කපල කොටලා, ටිකක් විතර ශේප් template එකක් හදා ගත්තා. Photoshop ටිකකුත් ඇහැක් වුනා ඒ ඩින්ගට. ටික ටික ඉස්සරහට ලියන්නම්. කියවල comment එහෙම දාලා පොඩි support එකක් දෙන්න.