2011-06-28

4 ජෝගි නැටීම

ජෝගි නැටීම කියන්නේ අපේ සාමාන්‍ය කට වහරේ නිතර පාවිච්චි වෙන වචනයක්නේ. තේරුම් ගානත් එමටයි. නිතර පාවිච්චි වෙන්නෙ නම් කවුරු හරි කෙනෙක්ට බනින්න හරි ඇනුම් පදයක් විදියට හරි තමයි.

ඇත්තටම නම් ජෝගි නැටීම කියන්නේ ශාන්තිකර්මයක කොටසක්ලුනේ. කොලඹ අවට විශේෂ නාට්‍ය වර්ගයකුත් තිබිල තියනවලු ජෝගි නාට්‍ය කියල. ඔන්න ඔය දෙවැනියට කියපු එක නිසා තමයි ජෝගි නැටීම කියන දේට දරුණුම තේරුම ඇවිත් තියෙන්නේ. ඇඳි සළු පිළි උනා දමමින් කරන නැටුමක් කියනවනේ. "ඕකි හොඳට ජෝගි නටපු එකියක්" වගේ භාවිතයක් අඩු ගානේ ටෙලි නාට්‍යක හරි චිත්‍රපටියක හරි අහල දැකල තියනවනම් සම්බන්දේ ගලපා ගන්න පුලුවන් වේවි.

හැබැයි එච්චරම සැර තේරුමක් නැති විදි වලටත් ඔය නැටිල්ල පාවිච්චි කරනවා. මට මතකයි ඉස්සර අපිත් එක්කම රත්ගම ගෙදර හිටපු රතු අයියට මහම්මා බනිනව, "මූ හවස් වරුවෙම ජෝගි නටල නටල ඇවිත් දැන් TV එක ඉස්සරහ වාඩි වෙලා ඉන්නවා. අතන තිබුන පෙලෙල්ලක් මෙතන්ට කරවන්න බෑනේ මූට කියල" කියලා.

එක පාරටම මේ ජෝගි නැටිල්ල මතක් වුනේ, පහු ගිය ඉරිදා මමත් දැක්කනේ ජෝගි නැටිල්ලක්. කලබල වෙන්න එපා අර කලින් කියපු දෙවැනි වර්ගයෙ එකක් නෙවෙයි. මේක පෙරහැරක ජෝගි නැටිල්ලක්. මේකයි සිද්දිය. ඔන්න පහුගිය ඉරිදා අපි කොලඹ ඉඳන් ගෙදර එන ගමන් අහුවුනා පෙරහැරකට. හරියටම කියනවනම් කුමාරකන්දෙදි. ඒ වාර්ශිකව තියන දොඩන්දූවේ මිහිඳු පෙරහැර. පැයකටත් වැඩි රස්තියාදුවක් කුමාරකන්දේ. කමක්නෑ ඉතින් ඕවත් තියෙන්න එපැයි ආගම දර්ශනේ, සංස්කෘතියේ පැවත්මට කියල මුවින් නොබැන හිටිය කියමුකො. 

ඔන්න දැන් අපි පෙරහැරත් බලාගෙන, පෙරහැර පාස් කරන් ඉස්සරහට ගියා, පොලිස් රාලහාමි සංඥාවේ හැටියට. පෙරහැරේ බාගයකටත් වඩා තිබුනේ කාවාඩි. ඒකත් හරි කාවාඩියක් නම් කමක් නෑ. අපරාදේ කියන්න බෑ බිග් මැච් එකකට අරන් යන්න තරම් සිරා පපරයකට ඉස්සර වෙච්ච කණ්ඩායම හොඳට නටනවා. උන් ඇත්තටම නටනවා නෙවෙයි, වැනෙනවා. කට්ටියම කර්පට් වෙන්නම ගහලා. කාලක් ගහලා කාලක්‍රියා කරනවට වඩා, භාගයක් ගහලා භාග්‍යවන්තයෙක් වෙනවට වඩා, මුන්ට හිතෙන්න ඇති බෝතලයක්ම ගහලා බෝධිසත්වයෙක් වෙන්න. කාවාඩි කිව්වට එකෙක්වත් යකඩ කටුවක් ඇඟට ගහලත් නෑ. කතරගම දෙයියන්ට වැඩ වැඩි නිසා හොඳයි. නැත්තන් යකඩ කට්ට ගහන්නේ මුන්ගේ xx.


මිනිස්සු බොන එකට අපි මුකුත් කියන්නේ නෑ. උන්ගේ කාර්, උන්ගේ පැට්ට්‍රොල් නේ. මිනිස්සු නැටුවට අපිට කමකුත් නෑ. නැටුමයි, බෙරේ පලුවයි දෙකම නැති වෙන්නෙත් උන්ටනේ. මිනිස්සු බීලා නැටුවත් අපිට කමක් නෑ. වැටිල කැඩුනොත් උනගෙ බෙලිනේ. හැබැයි සුලු පිරිසකගේ ජොලියට දහස්ගානක් මහපාරේ රස්තියාදු වෙනවනම් ඒක මම කලින් කිව්ව ජෝගි නැටීමේ එක ආකාරයක් වෙනවා නේද?

2011-06-12

1 සයිකල් වර්ක්ස්

A/L කාලේ පන්ති යන එකයි ඉස්කොලේ යන එකයි ඇරුනම වැඩිපුරම ගියපු තැනක් තමයි ඔය "සයිකල් වර්ක්ස්" කියල ලෑලි කෑල්ලක ලියල තියන පොඩි මඩු. එක පාරටම "සයිකල් වර්ක්ස්" මතක් වුනේ, පෙරේදා යන්න වුනා ඔය "සයිකල් වර්ක්ස්" එකකට. පැච් එකක් දාන්න කියල, ඒකත් මෝටාර් එකට. තල්ලු කරපු එවුන් නම් දන්නව ඇති හුලන් ගිහිපු මෝටාර් එකක් තල්ලු කරන රඟේ. ඉතින් තල්ලු කරන් මනෝ පාරකුත් දා ගෙන යන අතරෙ තමයි හිතුනේ මගේ ජීවිතේ සයිකල් පරිණාමය ගැන පෝස්ට් එකක් දාන්න ඕනෙ කියල.

මම පැදපු මුල්ම සයිකලේ ට්‍රයිසිකලයක්. රතු පාට ට්‍රයිසිකලේ හැන්ඩ්ල් එක දෙපැත්තේ ඉටි කොල සවරම් තිබුනා. එක ගෙනාපු දවසක් නම් මතක නැහැ. හැබැයි ඒක මම ඉස්කොලේ එකේ පන්තියට යනකම්ම අපේ දර මඩුවේ තිබුන මතකයි. ඔය පල්ලෙහා තියෙන්නේ එකේ පින්තූරයක්. අපේ මල්ලි උගේ වගේ ඕකේ නැගල හිටියට ඕක මගේ.

ඊට පස්සේ මම තුනේදි විතර තාත්තා අරන් දුන්න බාගේ බයිසිකලයක්. බාගේ බයිසිකලේ කියන්නේ, ඒක පොඩි හින්දා වෙන්න ඇති. බයිසිකලේ තැඹිලි පාටයි. බයිසිකල් පොල්ලටයි, හැන්ඩ්ල් පොල්ලටයි ස්පොන්ච් වගෙ කවරයක් දාලා තිබ්බා. ඔය බයිසිකලෙන් තමයි මම මුලින්ම රෝද 2න් යන්න පටන් ගත්තේ. ඒකෙන් නම් කී පාරක් කියල වැටිලා ඇද්ද. මම පහේ ශිෂ්‍යත්වෙට ගියපු පන්තියට යන එක තමයි ලොකුම ප්‍රයෝජනේ. සතියකට දවස් 2ක් පල්ලියපිටියෙ ඉදන් හෑගොඩට ගියපු කිලෝ මීටර් 1ක විතර ගමන තමයි මගේ බාගේ බයිසිකලේ දිගම ගමන.

පහේ ශිෂ්‍යත්වේ පාස් වුනාම තාත්තා ඊලඟට අරන් දුන්නා කෙන්ස්ටාර් මවුන්ටන් බයිසිකලයක්. ඒක මුල් කාලේ නම් වැඩිපුරම පාවිච්චිකරේ තාත්තමයි. ඒ දවස් වල අපේ ගෙදර හදන කාලේ නිසා, ඒවයි වැඩ වලට තමයි වැඩි පාවිච්චිය. පස්සේ ඉතින් කඩේ යන්නම තමයි. A/L කාලේ තමයි බයිසිකලෙන් ඉස්කොලේ යන්න වුනේ. වැඩියත්ම හවස පන්ති තිබිච්ච නිසා බයිසිකලේ ගමන ලේසි වුනා. ඉතින් ඒ වෙන කොට ටිකක් මලකඩ අල්ලලා පස් වේගෙන ගියපු බයික්කේ ටිප් ටොප් එකට හදල ගත්තා. ගැහුවා අලුතෙන් රිදී පාට පේන්ට් එකක්. රෝද 2ටම අලුතෙන් ස්පෝක් සහ ටයර්. පොඩි කුනු කුනුවකුත් දාල 21 speed gear සෙට් එකත් දැම්ම කියමුකෝ. අං දෙකකුත් හයි කරේ ඒ දවස් වල trend එක නිසා. වැඩේ සම්පූර්ණ වුනේ අපේ ගැන්සියේ සෙට් එක වගේම, සීට් එකේ වාඩි වුනාම කකුල ගහන්න බෝක්කුවක් ගාවට යන්න වෙන තරමේ උසකට සීට් එක උස්සලා.

බයිසිකල් කෙරුවාව එපා වුනේ සතියට පාරක් දෙපාරක් "සයිකල් වර්ක්ස්" අස්සේ රිංගන්න වෙන කොට තමයි. මොනවා කොරන්නද ඉතින්, දුප්පතාගේ හිතවතානේ. අනික ඉතින් ගිනි අව්වේ ගාල් කරල පන්ති ගියාම පැච් යන එක අහන්න දෙයක්යැ? දවල් වරුවේ බයික්කේ අව්වේ දාල, පන්තිය ඉවර වෙන කොට හුගක් හැන්දෑ වෙලා, "සයිකල් වර්ක්ස්" හොයා ගන්න නැතුව කීපාරක් නම් ඕක වජීන්ලගේ ගෙදර දාල යන්න ඇද්ද.

A/L කරල ලයිසන් ගත්තට පස්සෙ ඉතින් මෝටාර් එක තමයි. ඔටෝ AC තියන නිසා දාඩිය දාන්නෙත් නෑනේ. හැබැයි ඉතින් පැච් එකක් ගියාම පුටාර් එක වගේ නෙවෙයි මෝටාර් එක. මොකෝ ඉතින් ස්පෙයාර් වීල් තියන එකක්යැ. ආන් එතකොට තමයි හිතෙන්නේ පස්සේ ආපු අඟට වඩා, මුලින් ආපු කන තිබ්බ නම් හොදයි කියලා.

කොහොම හරි දැන්නම් ගෙදර තියෙන්නෙ මෝටාර් එක විතරයි. දෙවනි වතාවටත් පස්වෙවී තිබුන මගේ A/L සගය, අම්මා කාටද දීලා. කවුරු හරි පාවිච්චි කරනවනම් හොඳයිනෙ නිකන් පස් වෙනවට වඩා, ඔන්න කොහේද කියල ඇහුවම දීපු උත්තරේ. අපේ සන්දීපයා වගෙ  මම නම් මගේ බයික්කේ අනුන්ගේ ගෙවල් වල පස් වෙන්න දුන්නේ නෑ. පව් මාධවයා! ඌට තමයි සන්දීපයගේ කරත්තෙට හෙවන දෙන්න වුනේ.

කොහොමින් කොහොම A/L ජීවිතේ ප්‍රදානම කොටසක් වුනේ බයිසිකලේ තමයි. ඕන මහ වැස්සක, දකුණු අතින් king size කුඩෙත් ඉහලන්, වම් අතින් පොතට මැදි වෙච්ච cd ටිකයි හැන්ඩ්ල් එකයි ආං බාං කරන්, එක මඩ බින්දුවක් වත් ඉහෙන්නෙ නැතිවෙන්න mud guardනුත් නැති බයික්කෙන් පන්ති ගියපු කාලේ නම් පට්ටම සුන්දරයි.