Showing posts with label යාළුවෝ. Show all posts
Showing posts with label යාළුවෝ. Show all posts

2012-08-01

7 58 වාට්ටුව

අවුරුද්දකුත් වෙන්න ආවා අන්තිම post එක දාලා. දැන් ඉතින් කෙලක් වැඩ නොවැ. වැඩිය තියා facebook යන්නෙත් සති අන්තෙට වගේ ඩින්ගක්. ලියන්න ඕනමයි කියල හිතන් හිටියත් වෙලාවක් නැති නිසා මග ඇරුනා. අන්තිමට post එක ලියපු දාට වඩා ජීවිතේ ගොඩක් වෙනස් වෙලා. කැම්පස් එකෙන් out වෙලා. රස්සාවක් කරනවා. පඩියක් ගන්නවා. ජීවිතේ ගැන වෙනම විදියකට හිතනවා.

ඔය සේරම අතරේ පහුගිය මාස කීපය ඇතුලේ දෙපාරක් ඉස්පිරිතාලේ යන්න වුනා. මගේ අසනීපයකට නෙවෙයි. මුලින්ම මල්ලිට ඩෙංගු හැදිලා. දවස් 8ක් විතර කරාපිටියේ නවත්තල හිටියා. ඒක උණ වාට්ටුවක් නිසා, කට්ටිය එච්චර කතාවක් බහක් නෑ. පාඩුවෙ ඉන්නවා. දෙවැනියට අපේ පුබ්බ කාර් එකකට පොඩි අඩයක් තියලා. කකුලෙ ඇඟිල්ලක් කැඩිලා. ඌව මේ දවස් වල ජාතික රොහලේ 58 වාට්ටුවේ නවත්තල ඉන්නවා. අන්න වාට්ටුව. සේරම ඉන්නේ කැඩුම් බිඳුම් කාරයෝ. ඔන්න ඔය කියාපු 58 වාට්ටුව ගැනයි කියන්න හිතුනේ. අපේ මල්ලි නවත්තල හිටපු කරාපිටියේ 19 වාට්ටුවත් එක්ක පොඩි සංසන්දනයකුත් වේවි.

වාට්ටු වල තත්වය කතා කරොත් 58 ඉතාම ඉහල ගනයේ තියනවා. පිරිසිදු බවත් හොඳයි. මදුරු කරදරත් නෑ. දවසකට දෙපාරක් මොප් කරල සුපිරියටම තියනවා. 19 නම් එකේ සම්පුර්ණ අනිත් පැත්ත. මකුලු දැල් බැඳිල, බිම ජරා වෙලා, වැසිකිලි අවීචිය වගෙයි. ඔය රෝහල් දෙකම ප්‍රධාන ගනයේ රෝහල්නේ. වෙන් කෙරෙන සහ ලැබෙන මුදල් වල ලොකු වෙනසක් තියෙන්නෙ බෑ. හැබැයි පරිපාලනයේ නම් මාර ලොකු වෙනසක් තියන බව නම් හොඳටම පේනවා.

58 ඉන්නේ සේරම අත පය කැඩිච්ච කට්ටිය කියල මම කිව්වනෙ. විවිධ ජාතියෙ කට්ටිය, විවිධ අනතුරු වලින් විවිධ කාලයන්ට රොහල් ගත කරලා. පුබාගේ ඇඳ ගාවම ඉන්න කෙනා නම් කිව්වේ වැඩිපුර තියෙන්නේ මෝටර් බයික් අනතුරු තමයි කියල. කාර් එකකට වැදිල ගේන්නෙ එහෙමත්ම කලාතුරකින්ලු. පොර කීමට කියන්නේ මචන් මම Pulsar, අරූ FZ, එහා එකා Platina, මූ Discovery  කියලා. කොහොම හරි සෑම ජාතියෙම බයික් කාරයො නම් ඉන්නවා. සමහරු පොල් ගස්වල, ලයිට් කණු වල වැදිලා. තවත් එවුන්ට නින්ද ගිහිල්ලා. සමහරු හප්පලා වාහන කාරයො පැනල ගිහිල්ලා.

සමහරුන්ගේ අත කපලා, තව එකෙක්ගේ කකුල කපලා, අනිත් එකාගේ කකුල තැන් බර ගානකින් කැඩිල නිකන් දුන්නක් වගේ. ඒව දැක්කම නම් බයික් පදිනව තියා එලියට යන්නත් බය හිතෙනවා. කොහොම හරි ඉතින් මේ නේවාසිකයෝ ටික දීර්ඝ කාලිනව 58 වාසස්ථානය කර ගෙන ඉන්නවා. වැඩිම කාලයක් ඉන්න කෙනා දැනට අවුරුදු 2යි මාස ගානක්ලු. පුබාගෙ එහා පැත්තේ ඉන්න එකා මාස 2කට වැඩියි.

වේදනාව කොච්චර වැඩි වුනත් කට්ටිය විනොදෙන් ඉන්න උත්සාහ කරනවා. ගෙවල් වලින් ගේනෙන කෑම ටික බෙදාගෙන කනවා. වෙනම උප සංස්කෘතියක්. වාට්ටුවට නම් කට්ටිය ඒවි. දවස දෙක, මාසේ හමාර, අවුරුද්ද දෙකත් ඉඳල යන්න යාවි. හැබැයි ඒ යන එන කෙනා තමන් වෙයිද කියල සක්කරයටවත් කියන්න බෑනේ.

ඉතින් 58ට යන එන වාරයක් පාසා මට නම් හිතිච්ච දෙයක් තියනවා. ජීවිතේ හැම මොහොතක්ම විඳිමින් ජීවත් වෙන්න ඕන. මොකද ඊලඟ මොහෙතේ වෙන දේ අපි කවුරුවත් දන්නෙ නැති නිසා. නැත්නම් අපිටත් මොහොතක් ඒවි, "අපරාදේ කකුල තිබුන කලේ football ගැහුවෙ නැත්තේ" කියල හිතෙන. ඊට වඩා හොඳයිනේ "කකුල තිබුන කාලේ නම් football ගැහුව" කියලා හිතෙන එක. 

2011-01-28

5 දණ ගානවද යකෝ

13 - C රෙජිස්ටෙරේ 

මේ ඉරිදා අපේ අවුරුද්දේ අපේ උන් ටික සෙට් වෙන අපේ ගෙට් එක. අපේ කිව්වෙ අපේ ඉස්කෝලෙ සෙට් එක. අපේ උන්ගේ ඇතුලත් වීමේ අංක ටික ගන්න ඕනෙ කමකට කසුන් අද ඉස්කෝලෙට ගිහිල්ල අපේ පරණ රෙජිස්ටර් ටික හොයා ගෙන ඇවිත් තිබුනා.  ඔන්න දැම්මා රෙජිස්ටෙරේ පින්තූරෙත්. 

මේක දැක්කම අපේ උසස් පෙල පන්තියේ උගන්නපු මිස්ල, සර්ල ටික අමතක කරන්නම බැහැ. මිස්ල කිව්වට වන් ඇන්ඩ් ඔන්ලි අපේ පන්ති භාර හිටපු සාවිත්‍රි මිස්. මිස්ම තමයි physics කරේ. chemistry කරපු වික්‍රමසිංහ සර්. pure කරපු රංජිත් සර් සහ applied කරපු නිමලරත්න සර්. ඇයි english කරපු පෙරේරා සර්. මිස්ට කෙසේ වෙතත් සර්ලට නම් පාවිච්චි වුනේ ඔය කියපු නම් වලින් එකක්වත් නෙවෙයි :D

දැන් ටික දවසකින් ලියපු නැති නිසා, ඉස්කොලේ දවස් වල සිද්ධ වෙච්ච පොඩි චාටර් සීන් එකක් ලියන්න හිතුනා අද. නැත්තන් කට්ටිය කියාවි මුගේ බ්ලොග් ලිවිල්ලත් සෝඩා බෝතලේ කැඩුවා වගේ කියලා. කොහොමත් මගේ හුඟක් වැඩ සෝඩ බෝතලේ කැඩුව වගේ තමයි. ඒවා පස්සෙ වෙනම පොස්ට් එකකින් ලියන්නම්.

ඔන්න වැඩේ. කතා නායකයා මම. සහය නළුව මාධවය. දින වකවානුව නම් අර අමුතු ජාතියෙ 'ස' යන්න ආපුම කාලේ. ඒ දවස් වල ඉතින් කොහෙන් හරි CD එක කොපි කරගෙන තිබුන එකාට එක කොපිය ගානේ. ඕක ඒ දවස් වල කට පාඩම්. නිකන් ඉන්න කොට මුමුනන්නෙත් 'ස' යන්නෙ තියන සින්දුවක් තමයි. අදටත් අපරාදෙ කියන්න බෑ අමුන ගන්න පුලුවන් කොහොම හරි. අපි පාවිච්චි කරපු catch phrasesනුත් ඉතින් ඕකෙන්ම අහුල ගත්ත ඒවා තමයි. අහපු අය දන්නව ඇති, හුගක් තිබුනෙ අර මුස්ලිම් මනුස්සයෙක් විදියට කතා කරන ටිකේ, ෂා..... ලස්සන කියල නිම කරන්න බෑ. මාරෙටම rhyme වෙනවා. මාරම catchy.

ඉතින් දවසක් මාධවය මොකක් හරි බල බල ඉද්දි මම උගෙන් ඕක ඉල්ලුවා. මොකද්ද කියල නම් මතක නෑ. මූත් නෑහුනා වගේ ඒකම බලනවා. ඉතින් මම ඌට තේරෙන බාසාවෙන් ලස්සන catch phrase එකකුත් දාල කිව්වා "*** ලඟ දණ ගාන්නෙ නැතුව, ඕක දීපිය" කියල. phrase එක තිබුනේ  'ස' යන්නේ "පෙම්බර මදූ මගේ" සින්දුවට පාවිච්චි කරපු විස්තර විචාරේ වගෙයි මට දැන් මතක. දන්නෝ දනිති :p

කියලා හැරුන විතරයි මිස් පිටිපස්සේ. බිම හාර ගෙන යන්න නෝන්ඩිය. ඒ වගේද මිස් දිහා බලන්නත් බයයි. මිස් ෂේප් කරගන්නත් එපැයි. ඉතින් මේ ලෝකෙ නැති ඒවා මිස් එක්ක කතා කරනව damage එක control කරගන්න. මිස් නේද, කිසිම response එකක් නෑ. මතක විදියට එදා සිකුරාද දවසක්ද කොහෙද. කොහොම හරි එදා ගෙදර ගිහින් මුලු සති අන්තෙම කල්පනා කරල කරල, සඳුදා උදේ පාන්දරම දඩ physics ගානක් උස්සන් ගිහින් කිව්ව මේක කියල දෙන්න කියලා. ගාන කොහොම හරි මිස් අපිට කියල දෙන්න එපැයි. හිතුවා වගෙම මිස් ගාන කියල දුන්න. අපිත් normal එකේ ෂේප් වුනා. අපි කිව්වට මමනෙ චාටර් වුනේ. මමත් ෂේප් වුනා.

රෑ වැටිච්ච වලේ දවලුත් වැටෙනවා වගේ, ඕකම තව පාරක් වුනා. ඉතින් සුපුරුදු ගැටේ ගහල බේරුනා. ඔය ඔක්කොම වුනේ 12 වසරෙදි. 13 වෙන කොට මිස් අපිත් එක්ක මාර ෆිට්. ඒක නිසයි, Science Day එක නිසයි, මට නම් 13 වසරෙදි ඉස්කොලෙන් හොරාට පැනීමේ භාග්‍ය අහිමි වුනා. මොකද, යන්න ඕන වුනාම මිස් පන්තියේ උගන්න උගන්න හිටියත් "මිස්, මම යනව" කියල යන්න පුලුවන්කම හම්බ වුනා. වැරදිලා හරි මාට්ටු වුනොත් Science Day එක උකස් කරා.

හැබැයි අපේ උන් පනින්න ගිහින් මාට්ටු වෙලා බයිසිකල් කර ගහ ගෙන, කනේ පාරවල් කාල ප්‍රධාන කාර්යාලය ඉස්සරහ හිටපු හැටිත් මතක් වෙනවා. මගේ මතකෙ හරිනම් මාධවයයි, කසුනුයි, පනන්ගලයයි 3දෙනා පාරක් ප්‍රින්සිපල්ගේ අතටම මාට්ටු වුනා. අවුලක්නම් වුනේ නැද්ද කොහේදැයි.

අර 'ස' යන්න cd එක නම් දැන් නෑ. මාධවයගේ එක තියෙයිද දන්නෙනෑ. ඕවා නිසි ලෙස සංරක්ශණය කරන්න ඕන එව්වා නොවැ. හික්, හික්. ඇතිනේ. කුනුහරුප ලියවුනේ නැතුව ඇති කියල හිතමු. මගේ "සෝඩා බෝතලේ ඇරිය වගේ" වැඩත් එක්ක ආපහු එන්නම්.

2011-01-08

6 මාළුවා වගේ මමත් නහින්නෙ කට හින්දා

ලැබුන නිවාඩුවත් එක්ක ඉක්මනටම කරන්න තිබුන වැඩ ටික කර ගන්න ටිකක් වෙලා හම්බ වුනා. මේවයින් බොහොමයක් ඉලෙක්ට්‍රොනික් සම්බන්ද කටයුතු. මුල්ම සහ අමාරුම වැඩේ තමයි, අපේ  ඇගයීමකට හදන්න කිව්ව Switch Mode Power Supply එක. වෙනද නම් අපේ කණ්ඩායමෙ ඉන්න මීයට කියල ගොඩ දා ගත්තත්, මේ පාර මට පෝරියල් එක සෙට් වුනා. ඇත්තටම කියනවනම් සෙට් කර ගත්තා.
SMPS in bread board


මාළුවා නහින්නෙ කට හින්ද වගේ, පාරම් බාපුව ක්‍රියාවට නගන්න ගියාම තියන අමාරුව දැක්කම එපා වෙනවා. ඉලෙක්ට්‍රොනික් නම් කොකටත් තෛලෙ වගෙ ඉන්න අපේ අරුණ නොහිටින්න මම ඔළුව හැරුන අතේ ගිහින්, දැන් ඉබාගාතේ යනවා. Inductor එක ඔතන්න බන්ඩා ගත්ත මහන්සියත් අමතක කරන්න බැහැ. 

පරිපතයට යන මුදල වගෙ 3-4 ගුනයක් වියදම් කරලා, ගෙනාපු components වලින් තුන් කාලක්ම පුච්චලා ඉවර වෙලා යන්තන් එකක් අටව ගත්තා. ඒ අරුණලගෙ ගෙදරදි. ඒ බඩු ටිකම අපේ ගෙදර ගෙනැත් ගහල බැලුවා, එතකොට වැඩ කරන්නේ නෑ. රුපියල් 1500 විතර වතුරෙ දාල, ඉතුරු component ටික පැත්තකට කරල තියනවා.

local PICkit 2
තව වැඩක් පටන් ගත්ත. SONY remote එකෙන් කාමරේ ලයිට් ටික on-off කරන්න. අලුතෙන් ගත්ත local PICkit 2 එකත් අරන් වැඩේට වාඩි වුනා. Remote එකේ තියන algorithm එක decode කර ගන්න වැඩේ නම් පැය 3-4කින් කරගත්තා. දැන් තියෙන්නේ 230V එක්ක සම්බන්ද කරන වැඩේ. මේකෙත් motivation එක වගේම බොහොමයක් දුරට දැනුම සහ components සැපයීම අරුණම තමයි.

නිතර නිතර ගෙදර කට්ටිය remote එක ඉල්ල ඉල්ල එන එකට මොකක් හරි විකල්පයක් හොයා ගන්න වෙනවා. නැත්තන් මට ලයිට් on-off කරන්න වෙන්නෙ ගෙදරින් එලියෙ ඉඳන් :p ලියන frequency එක වැඩිද මන්ද. ඉක්මන් කොටයි කියල කලින් පාර  වගේ, හෙට අනිද්ද වෙනකොට බ්ලොග් කෙරුවාව නවත්තාවිද දන්නෙත් නෑ, . කොහොම හරි ඔන්න දෙවැන්න.