2011-04-23

9 සීලවඩිච්චි

සීලවඩිච්චි කාල තියනවද? අඩු ගානේ අහල තියනවද සීලවඩිච්චි ගැන? මම නම් කාල තියනවා. එක පාරටම සීලවඩිච්චි ගැන මතක් වෙච්ච හේතුව කියන්නම් ඉස්සෙල්ලාම. අවුරුද්දට ඉතින් අපිත් ඇවිදිනවනේ රට සේරොම. මමයි අම්මයි පහුගිය දවසක ගියා අපේ නෝනෙ අක්කලගේ ගෙදර. නෑකමට නම් අපෙ පුංචි නැන්දගේ දුව. මට මුලින්ම මාමේ කියපු පොඩි එවුන් දෙන්නගෙ අම්මා.

අක්ක තමයි අපිට සීලවඩිච්චි හදල දීල තියෙන්නේ. එකට විශේෂම හේතුව වුනේ අත්‍යවශ්‍ය වෙච්ච දෙයක් තිබුනේ අක්කලගේ ගෙදර. මේක හදන හැටි හරියටමනම් මතක නෑ. හැබැයි මතක හැටියට කියන්නම්. හදල බීල මුකුත් වුනාට පස්සේ මට විතරක් බනින්න එපා හරිය. 

හොඳවයි කුරුම්බා ගෙඩියක් තමයි මුලින්ම ඕනේ. කුරුම්බා කිව්වමයි මතක් වුනේ, දැන් කාලේ ඉතින් කුරුම්බා හොයනත් නෑනේ. මිනිස්සු කුරුම්බා පොල් වෙනකන් තියල වික්කම මාර ලාබයිනෙ නේද. තැඹිලි නම් තියනව, හැබැයි අපෙ වැඩේට හරියන්නෙ නෑ. කේරලෙන් ගෙනාපුව වුනත් කමක් නෑ කුරුම්බම වෙන්න ඕනේ.

කුරුම්බා ගෙඩිය කපල වතුර වෙන් කර ගන්නවා. ගෙඩිය පලලා ලොඳෙත් හූරල වතුරටම දානවා. ඕකටම සීනිත් දානව කියලයි මතකේ. ඊට පස්සේ තමයි අර කියපු අත්‍යවශ්‍ය වෙච්ච දේ ඕන වෙන්නේ. ඒ තමයි මොනිස් විස්කෝතු. අක්කලගේ තාත්තා සතියකට පාරක් විතර කොළඹ ගිහින් එන කොට අනිවාර්යෙන් ගේන ජාතියක් තමයි මොනිස් විස්කෝතු. කාපු අයනම් දන්නව ඇති, මාර රහයි. ඉතින් මොනිස් විස්කෝතුත් කුඩු කරලා අර කුරුම්බා වතුර එකටම දානවා. ඕක ඉතින් ශීතකරනෙක තියල ගත්තනම් ෂා....! මරු.

රත්ගමින් ගිංතොටට ආවත් හරි සීලවඩිච්චි දැක්කෙත් නෑ. දැන් ඉතින් අක්කටත් වැඩ කෝටියක් නිසා, ආපහු සීලවඩිච්චි කන්න/ බොන්න හම්බවෙන එකකුත් නෑ.

ආපහු ඔන්න සිංහලෙන්ම කිව්වා....

Reader discretion is advised

හදල බීල මුකුත් වුනාට වගකියන්නේ නැතෝ........





ප.ලි.
"මෝනිස්" කියන්නේ කලුතර පහු කරල ගාල්ල පැත්තට එන කොට තියන ප්‍රසිද්ධ හොටෙල් එකක්. හුගක් ප්‍රසිද්ධ විස්කොතු නිසා.

2011-04-13

3 කිරිල්ල, බලුදං සහ කැපෙන කරත්තය

ටික දවසකින් පෝස්ට් එකක් දාන්නත් බැරි වුන නිසා හිත හිත ඉද්දින් නිකමට වගෙ මගේ මතකෙ දිව්වා අපි පොඩි කාලේ අවුරුද්දට කරපු වැඩ කීපයකට. "යකෝ මූ පොඩි කාලේ කියල කියන්නේ, දැන් ලොකුද?" කියල කවුරුත් අහන එකක් නෑ කියල හිතමුකෝ. 

කොහොම හරි මම 7 වසරට වෙනකම් වගේ අපි හිටියේ රත්ගම. ඒ අපේ තාත්තලගේ මහ ගෙදර. ඉතින් ඒ කාලේ එක සිංහල අලුත් අවුරුද්දක් රත්ගම හිටියොත්, බොහෝ විට අනිත් අවුරුද්දේ අපේ අම්මලගේ මහ ගෙදර. ඒ කිව්වේ බෙලිඅත්තෙ. හරියටම කියනවනම් ගැටමාන්නේ. අපි ගිංතොට අලුතෙන් හදපු අපේ ගෙදරට ආවට පස්සේ නම් සිංහල අලුත් අවුරුද්දට අනිවාර්යෙන් හිටියේ අපේ ගෙදරමයි. 

අපි පොඩි කාලේ වගේම අදටත් ගැටමාන්නේ යන්න මාරම ආසාවක් තියෙන්නේ. හේතුව නිතර යන්න ලැබෙන්නේ නැතිවීමටත් වඩා, අපේ මාමා විය හැකියි. ඒ අපේ අම්මගේ බාලම මල්ලී. අපි කියන්නේ "බේබි මාමා" කියල. ඉතින් අපි ගියාම අපිට මාර සැලකිලි. සෙල්ලම් කරන්න එනවා, සෙල්ලම් බඩු හදල දෙනවා, වේල් 3ටම කවනවා. ඒ මදිවට කවන ගමන් කතාත් කියනවා. අපි ගැටමාන්නේ යන්න තිබ්බ ආසාව කොච්චරද කියනව නම්, අම්මට පේපර්  මාකින් යන්න ඕන වුනාම කරන්නේ අපිව ගිහින් ගැටමාන්නේ ඇරලවන එක. ඔය හදල දෙනවා කියපු සෙල්ලම් බඩු තමයි මට එක පාරට මතකෙට ආවේ.

අවුරුදු නිවාඩුවට යන අපිට අනිවාර්යෙන් හදල දෙන පලවෙනි සෙල්ලම් බඩුව තමයි බට තුවක්කුව. බට කපල, සුද්ද කරලා, හොඳ හයිය අච්චු කූරක් හොයල එකට දාල තමයි වැඩේ ඉවර කරන්නේ. වෙඩි තියන්නේ කිරිල්ල ගෙඩිවලින්. ගෙදර වත්තේ ඕන තරම් කිරිල්ල ගස් තිබ්බා. වෙඩි තියනකොට අච්චු කූරත් 3-4 වතාවක් කැඩෙනවා. ආපහු අච්චු කූර දාල රෙපෙයාර් කරල පාවිච්චි කරනවා. ආපහු ගෙදර එනකොටත් ඕක උස්සන් එනවා. රත්ගම නම් කිරිල්ල හොයා ගන්න තැනක් දැනන් හිටියේ නෑ. ඒ වෙනුවට හොඳට ගැලපුන බලුදං කියල ගෙඩි ජාතියක් පංසල් වත්තෙන් හොයා ගත්තා. තුවක්කු බටේ වේලුංකාල පැලෙනකම්ම කෙරුවාව නෙවෙයි නවතින්නේ.

ඊලඟට හොඳටම මතක තියෙන්නේ "කැපෙන කරත්තය". සාමාන්‍යයෙන් නම් කෝටුවකට ටින්  පියනක් ඇනයකින් ගහල හදන නිකම්ම නිකන් කරත්තෙට වඩා මේක වෙනස්. හොඳ කෙලින් තියන දිග මකුලත කෝටුවක් අරන් ඒකෙ පහලින් "T" හැඩයට හිටින්න, තනි ඇනයකින් ගහනව තව පොඩි කෝටුවක්. දැන් ඔය පොඩි කෝටුවට කරකැවෙන්න පුලුවනිනේ. පොඩි කෝටුවේ දෙකෙලවරට හයිකරනවා රෝද 2ක්. රෝද හොඳට කරකැවෙන්න හයි කරන්නේ කොහොමද කියනම් මට මතකයක් නෑ, හැබැයි රෝද කපන්නේ නම් සෙරෙප්පු වලින් කියලනම් මතකයි. තවත් පොඩි කෝටුවක් අරන් අල්ලන පැත්තෙන් කලින් විදියටම හයිකරලා, අදිනවා ගෝනි නූල් 2ක් පහල පොඩි කෝටුවට. උඩින් තියන කෝටුව හරවන කොට යට කෝටුවත් හැරවිලා කරත්තෙ කැපෙනවා. ඔන්න යන්තන් රූපෙකුත් බලි ගෑව තේරුන්නැත්තන් බලන්න.

අනිත් වැදගත්ම එක තමයි පොල්පිති බැට් එක. අමු පොල්පිත්තකින් කපන බැට් එකකින් දෙන්න පුලුවන් බෝල පැලෙන්න. ඒත් එක්කම මකුලත් කොටු වලින්ම විකට් කූරු 3කුත්  කපා ගන්නේ ෆුල් ප්‍රොෆෙශනලි වැඩේට බහින්න. කොහොම හරි පවුලේ පොඩි නඩේ නම් අවුරුද්දට අනිවාර්ය්‍යයෙන් මදි නොකියන්න සෙල්ලම් කරන බවනම් තාම අද වගේ මතකයි.

අලුත් අවුරුද්දට කලින් ආපහු ලියන්න වෙන එකක් නෑ මම හිතන්නේ. එහෙනම් හැමෝටම සාමය සතුට පිරි, කිරියෙන් පැනියෙන් ඉතිරෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියල ප්‍රාර්තනා කරන ගමන් අපි කැපෙනවා.

2011-04-03

2 ආ මග කෙටියි, යා යුතු මග දුරයි..............

මුළු ලංකාවම බලන් හිටියත් අපිට ඕන දේ වුනේ නෑ නේද? දුකයි! මොනවා කියල කොරන්නද ඉතින්. අපේ කණ්ඩායමට වඩා ඉන්දියානු කණ්ඩායම දෙවැනි බාගයේ හොඳට සෙල්ලම් කරා කියනව ඇරෙන්න.

ඩිල්ශාන් තමන්ගේ විශිෂ්ඨත්වය තරඟාවලිය පුරාම හොඳට පෙන්නුවා. තරංගයි මැතිව්ස්නුයි ශ්‍රී ලාංකික ක්‍රිකට් අනාගතය සරු බව පෙන්නුවා. නායකත්වය කියන්නේ මොකද්ද කියල සංගා ක්‍රියාවෙන්ම පෙන්නුම් කරා. වගකීම කියන්නෙ මොකද්ද කියල අවසන් තරගෙයෙන් මහේල පෙන්නුවා.

මුරලි තවත් ජාත්‍යන්තර පිටියෙ දකින්න නොලැබෙවි. මහේල සහ සංගට ක්‍රිකට් වලින් අඩුව වෙලා තිබුන ලෝක ශූරතාවය නම් ලබන්න තවත් අවුරුදු 4ක් බලා ඉන්න වේවි.

නොලැබුන දේට වඩා ලැබුන දේ අගය කිරීමක් තමයි අවශ්‍ය. හැබැයි නොලැබුන දේ ලබා ගන්න දැන්ම ඉදන් ලෑස්ති වීමයි වැදගත්. 2007න් පස්සේ අපි ඒ ලෑස්තිවීම හරියට කරා. 2011 අවසන් තරඟයත් පැරදුනා තමයි. නොලද ජයග්‍රහනය ලබන්න 2015දි ආපහු තරඟාවලිය එනවා.

කොහොමින් කොහොම හරි වාසනාව කියන දේ ගැන කිසිම විශ්වාසයක් හිතේ නොතිබිච්ච මම, වාසනාව කියල දේකුත් බලපානවා කියල හිතන්න පටන් ගත්තා. අන්න ඒ වාසනාව 2015දී අපේ කණ්ඩායමට ලැබේවා කියන්නේ අපේ අනු ශූරයන්ට සුබ පතමින්.

"ධීර නගා දී හිරුත් සඳුත් යට
ශ්‍රී ලංකා දිනේ ලෝකේ" - සිංහ උදානය