ටික දවසකින් පෝස්ට් එකක් දාන්නත් බැරි වුන නිසා හිත හිත ඉද්දින් නිකමට වගෙ මගේ මතකෙ දිව්වා අපි පොඩි කාලේ අවුරුද්දට කරපු වැඩ කීපයකට. "යකෝ මූ පොඩි කාලේ කියල කියන්නේ, දැන් ලොකුද?" කියල කවුරුත් අහන එකක් නෑ කියල හිතමුකෝ.
කොහොම හරි මම 7 වසරට වෙනකම් වගේ අපි හිටියේ රත්ගම. ඒ අපේ තාත්තලගේ මහ ගෙදර. ඉතින් ඒ කාලේ එක සිංහල අලුත් අවුරුද්දක් රත්ගම හිටියොත්, බොහෝ විට අනිත් අවුරුද්දේ අපේ අම්මලගේ මහ ගෙදර. ඒ කිව්වේ බෙලිඅත්තෙ. හරියටම කියනවනම් ගැටමාන්නේ. අපි ගිංතොට අලුතෙන් හදපු අපේ ගෙදරට ආවට පස්සේ නම් සිංහල අලුත් අවුරුද්දට අනිවාර්යෙන් හිටියේ අපේ ගෙදරමයි.
අපි පොඩි කාලේ වගේම අදටත් ගැටමාන්නේ යන්න මාරම ආසාවක් තියෙන්නේ. හේතුව නිතර යන්න ලැබෙන්නේ නැතිවීමටත් වඩා, අපේ මාමා විය හැකියි. ඒ අපේ අම්මගේ බාලම මල්ලී. අපි කියන්නේ "බේබි මාමා" කියල. ඉතින් අපි ගියාම අපිට මාර සැලකිලි. සෙල්ලම් කරන්න එනවා, සෙල්ලම් බඩු හදල දෙනවා, වේල් 3ටම කවනවා. ඒ මදිවට කවන ගමන් කතාත් කියනවා. අපි ගැටමාන්නේ යන්න තිබ්බ ආසාව කොච්චරද කියනව නම්, අම්මට පේපර් මාකින් යන්න ඕන වුනාම කරන්නේ අපිව ගිහින් ගැටමාන්නේ ඇරලවන එක. ඔය හදල දෙනවා කියපු සෙල්ලම් බඩු තමයි මට එක පාරට මතකෙට ආවේ.
අවුරුදු නිවාඩුවට යන අපිට අනිවාර්යෙන් හදල දෙන පලවෙනි සෙල්ලම් බඩුව තමයි බට තුවක්කුව. බට කපල, සුද්ද කරලා, හොඳ හයිය අච්චු කූරක් හොයල එකට දාල තමයි වැඩේ ඉවර කරන්නේ. වෙඩි තියන්නේ කිරිල්ල ගෙඩිවලින්. ගෙදර වත්තේ ඕන තරම් කිරිල්ල ගස් තිබ්බා. වෙඩි තියනකොට අච්චු කූරත් 3-4 වතාවක් කැඩෙනවා. ආපහු අච්චු කූර දාල රෙපෙයාර් කරල පාවිච්චි කරනවා. ආපහු ගෙදර එනකොටත් ඕක උස්සන් එනවා. රත්ගම නම් කිරිල්ල හොයා ගන්න තැනක් දැනන් හිටියේ නෑ. ඒ වෙනුවට හොඳට ගැලපුන බලුදං කියල ගෙඩි ජාතියක් පංසල් වත්තෙන් හොයා ගත්තා. තුවක්කු බටේ වේලුංකාල පැලෙනකම්ම කෙරුවාව නෙවෙයි නවතින්නේ.

අනිත් වැදගත්ම එක තමයි පොල්පිති බැට් එක. අමු පොල්පිත්තකින් කපන බැට් එකකින් දෙන්න පුලුවන් බෝල පැලෙන්න. ඒත් එක්කම මකුලත් කොටු වලින්ම විකට් කූරු 3කුත් කපා ගන්නේ ෆුල් ප්‍රොෆෙශනලි වැඩේට බහින්න. කොහොම හරි පවුලේ පොඩි නඩේ නම් අවුරුද්දට අනිවාර්ය්‍යයෙන් මදි නොකියන්න සෙල්ලම් කරන බවනම් තාම අද වගේ මතකයි.
අලුත් අවුරුද්දට කලින් ආපහු ලියන්න වෙන එකක් නෑ මම හිතන්නේ. එහෙනම් හැමෝටම සාමය සතුට පිරි, කිරියෙන් පැනියෙන් ඉතිරෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියල ප්‍රාර්තනා කරන ගමන් අපි කැපෙනවා.
අනික් ඒවා ගැන නම් දන්නේ නැහැ...එත් ඔය උණ බට තුවක්කුවට නම් මාත් පොඩි කාලේ හෙනම ආසයි....අපි නම් කරන්නේ පත්තර කොළ වතුරේ පොගවලා ඒවා පොඩියට ගුලි කරලා උණ්ඩ වගේ හදාගන්න එක...එහෙම නැත්තම් වටේ පිටේ තියන මොනවා හරි දෙයක් ඕකට දානවා.....සුබ අලුත් අවුරුද්දක් වේවා :)
ReplyDeleteඑසේම වේවා............!
ReplyDeleteකවියෙන් කියන්න ශක්තිය නැතත්, එසේම වේවා..... :)
ReplyDelete