Showing posts with label මම. Show all posts
Showing posts with label මම. Show all posts

2014-05-24

0 ආයුබෝවන්! නැවත හමු වෙමු...

සමාසික අභ්‍යාසලාභී කාලයක් හා වසර දෙක හමාරක සේවා කාලයකින් පසු එටිසලාට් ආයතනයේ මා ගෙවනු ලබන අවසන් දිනය අදයි. එකී කාලය තුළ නන් අයුරින් සහයෝගය දුන් සැමට ස්තූති කිරීම මගේ යුතුකමයැයි සිතමි.

පළමුවෙන්ම මගේ ස්තුතිය මා පල කරනුයේ අප සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී ලෙස කටයුතු කළ දුමී වෙතයි. ඔහු හා සම්බන්ධ වීමට ලැබුනු සීමිත වූවද, අගනා අවස්ථාවන්ගෙන් මා ලද අත්දැකීම් බොහෝයි. ප්‍රධාන තාක්ෂණික නිළධාරී සනත් සමග මා හට වැඩ කිරීමට ලැබුනු අවස්ථාවන් බොහෝ වූ අතර, ඔහුගේ දූරදර්ශි අවවාදයන් හා අනුශාසනාවන් මා සමාගමේ ගත කළ කාලය පහසු කරවන්නක්ම විය. දුමී හා සනත් වැනි නායකයන් යටතේ මා ලද පන්නරය අති මහත්ය.

මා එටිසලාට් ආයතනයට බඳවා ගත් ලොකු මාධව (මාධව ගුණතිලක) අයියා සිහි කිරීමට කැමැත්තෙමි. ඔහු නිරන්තරයෙන්ම මා හට විවිධ සහයෝගයන් ලබා දුන් අතර, පෞද්ගලික ගැටලු වලදී වුවද අවවාද ලබා දීමට තරම් නිහතමානී විය. අප කණ්ඩායමේ වර්තමාන ප්‍රධානියා වන අනුරංග අයියා ලබා දුන් නිරන්තර සහය අගය කළ යුතුමයි. එමෙන්ම සමින්ද අයියාගෙන් ලැබූ පරිචයෙහි වටිනාකම අමිලයැයි මට හැඟේ. ඔවුන් හැමවිටම මා ධෛර්ය්‍යමත් කිරීමට සමත් වූ අතර වරදක් දුටු විට එය නිවැරදි කර ගැනීමට මග පෙන්වීය.

අප RNE කණ්ඩායමේ සියලුම සොයුරු සොයුරියන් මෙහිදී විශේෂයෙන් මෙනෙහි කිරීමට කැමැත්තෙමි. ඔවුහු මා කණ්ඩායමට එක් වූ දින සිටම කිසිඳු චකිතයකින් තොරව මා කෙරෙහි විශ්වාසය තැබුවෝය. ඔවුන්ගේ සහය නොවන්නට මාගේ පලමු රැකියා අත්දැකීම මෙතරම් සුන්දර නොවීමට ඉඩ තිබිණි. මාගේ විශ්වවිද්‍යාල සමයේදීද මිතුරෙක් වූ දමිත්, මා හා අප කණ්ඩායමේ රැඳී සිටීම විශාල සවියක් විය. එනිසා ඔහු විශේෂ ස්තූතියකට සුදුස්සෙක් බව සිතමි.

Team Transport Network Planning
Transport Network Planning කණ්ඩායම මා ආයතනයේ ගත කළ මුලු කාලයම අනුයුක්තව සිටි කණ්ඩායමයි. එකී කාලයේදී යම් තක්ෂණික දැනුමක් හා අත්දැකීමක් ලද්දේද, ඉන් 90%කම ගෞරවය හිමිවිය යුත්තේ අපේ කණ්ඩායම් සාමාජිකයන්ව සිටි සුමුදු, ධනුශ්ක අයියලාටත්,හර්ෂි අක්කාටත්ය. විවිධ ක්ෂේත්‍රයන්ගේ නිපුන විශේෂඥයන්වූ ඔවුන්, නොමසුරුව කාලයත්, ශ්‍රමයත් වැය කරමින් ඔවුන් සතු දැනුම මා හා බෙදා ගත්තෝය. එහෙයින් ඔවුන්ට මගේ ගෞරවයත් ආදරයත් පිරිනැමීමට කමැත්තෙමි. පසුව අප සමග එක්වූ යදීශ, නිශාද්, නුවන්දි, පැතුම්,සන්දීප මෙන්ම චමිත්, හසිත සහ සවිනි අප කණ්ඩායම සවිමත් කළ අතර ඇතැම් විට කලක් වේලවක් නොතකමින් හදිසි රාජකාරීන්හිදී මා හට ලබා දුන් සහය හද පිරි ප්‍රණාමයෙන් සිහිපත් කරනු කැමැත්තෙමි. ඔවුන් අතරින් මුලින්ම අප හා එක් වූ යදීශ විශේෂයෙන් සිහිපත් කරන්නේ අපහසු අවස්ථාවන්හිදීද උපරිම සහයෝගය මටත් කණ්ඩායමටත් ලබා දුන් හොඳ මිතුරෙකු හෙයිනි. ඔවුන් සියලු දෙනා ආයතනයට වටිනා සම්පත් වන අතර ඔවුන්ගේ වෘත්තීය දිවිය සාර්ථක වේවායි පතමි.

මාගේ ස්තුතිය හිමිවන ප්‍රධාන කණ්ඩායම් කීපයකි. රාජකාරීමය මෙන්ම පෞද්ගලිකවද ඉතා සුහදව මා හා කටයුතු කළ, කාර්යාලයේ‘අසල්වාසීන්’ වූ Capacity Planning හා Rollout කණ්ඩායම් මතක් කරන්නේ සැබෑ මිත්‍රත්වයෙනි. තවද ඉංජිනේරු අංශයේ NOP, NOC, Switch, VAS හා IN කණ්ඩායම් වේ. චරක අයියා සමග Transmission Operations කණ්ඩායමද, ඉසංක අයියා සමග BSC Operationsකණ්ඩායමද මට ලබා දුන් සහය විශේෂයෙන් සිහිපත් කළ යුතුයි. මීට අමතරව Finance, Procurement, Legal, Corporate Services, IT හා HRයන කණ්ඩායම් වල සහය නොවන්නට මගේ රාජකාරී දිවිය අසීරු වන්නට බොහෝ ඉඩ තිබිණි. එබැවින් ඔබ සැමටත් ස්තූතියි.

මා විශ්වවිද්‍යාල සිසුවකුව සිටියදී, අභ්‍යාසලාභී ඉංජිනේරුවකු ලෙස සම්මුඛ පරීක්ෂනයේදී මාව තෝරා ගත් පොඩි මාධව (මාධව හේරත්) අයියා ද සිහිපත් කළ යුතුයි. එසේ නොවන්නට පසුව මා මෙහි ලද රැකියා අවස්ථාව නොලැබීමටද ඉඩ තිබිණි.

2013 දෙසැම්බර් Staff Conventionහි තාක්ෂණික අංශය නියෝජනය කරමින් Departmental Presentation ඉදිරිපත් කිරීමට ලද අවස්ථාව විශේෂ අත්දැකීමක් විය. එහිදී මට සහය වූ හංසිනී, සුමේධ, චාමර මෙන්ම ලක්ශිත අයියාටත් ප්‍රසංසා කිරීමට කැමැත්තෙමි. මීට අමතරව සියලුම Toastmaster සාමාජිකයන් විවිධ අවස්ථාවලදී ලබා දුන් සහයට හා දිරි ගැන්වීම් වලටද ස්තූති වන්නෙමි.

අවසාන වශයෙන් සඳුන් අයියා මට ලබා දුන් සහයෝගය මතක් කරනු කැමත්තෙමි. රාජකාරීමය වශයෙන් කාර්යාලය තුළ පමණක් නොව ඉන් පිටතදී පෞද්ගලිකව වුවද ඔහු විසින් මා හට කළ උපකාර බොහෝය. මේ වන විට මා වෘත්තීමය වශයෙන් හෝ පුද්ගලිකව යම් සාර්ථකත්වයක් ලද්දේ නම් ඒ ඔහුගේ උපදෙස් හා මග පෙන්වීම නිසාවෙනි. එසේ නොවන්නට සාම්ප්‍රදායික ඉංජිනේරුවෙකුගේ ලෝකයෙන් එපිට යමක් දැකීමට, මට නොහැකි වනු අති බව නිසැකයි. මට ජ්‍යේශ්ඨයෙක්, කලණ මිතුරෙක්, සොහොයුරෙක් හා උපදේශකයෙක් වූ ඔබට මගේ හද පිරි ස්තූතිය පිරි නැමීමට කැමැත්තෙමි.

මෙහි සඳහන් කිරීමට අතපසුවූ අයකු වූවේ නම් හෝ යම් කිසි අයෙකුට මා නිසා හිත් රිදවීමක් සිදු වී නම් මගේ කණගාටුව පල කරන අතර ඔබ සියලු දෙනා ලබා දුන් සහයෝගයට ස්තූතියි. ඔබ සියලු දෙනාගේ වෘත්තීමය හා පෞද්ගලික ජීවිත වල සියලු ඉලක්ක හා බලාපොරොත්තු සර්වාප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි පතමි.

ආයුබෝවන්! නැවත හමු වෙමු...

මම,
ෂානක අනුරාධ
Email: shanakaanuradha@gmail.com
Mobile: 072 22 418 42
Web: http://shanakaanuradha.blogspot.com
Skype: ssanuradha
Facebook: https://www.facebook.com/ssanuradha
Twitter: shanakaanuradha

2014-01-01

5 2013 මට?

ජීවිතේ ගෙවපු කාර්යබහුලම අවුරුද්දක් ඉවර වුනා. පෞද්ගලිකව මගෙන් වෙන්න ඕන වැඩ කීපයක්ම අතපසු වුනා. මගේම කලමනාකරණ දුර්වලතා නිසා කියලයි මට නම් හිතෙන්නේ. කොහොම වුනත් බලමු ලබන අවුරුද්දේ වත් ඒ ටිකත් එක්ක ගොඩ දා ගන්න. පහලින් තියෙන්නේ ගිය අවුරුද්දේ කරපු කියපු / කරන්න බැරි වුන වැඩ ටිකක් තමයි.

ජනවාරි
CCNP Switching විභාගෙ කිරීමට හිතන් හිටියත් කරන්න බැරි වුනා.

පෙබරවාරි
පෙරුම් පුරල පුරල කාර් එක ගත්තා.

මාර්තු
රුවිතෙට ආපු යටි ඇන්දේ ඥාණ දත් දෙක operation එකකින් අයින් කරා.

අප්‍රේල්, මැයි සහ ජුනි
මොනවා වුනාද, මොනවා කරාද කියල හාන්කවිස්සියක්වත් මතක නෑනේ.

ජූලි
Engineer - Transport Network Planning විදියට re-designate වුනා.

අගෝස්තු
ජීවිතේ පළවෙනි වතාවට event එකක් compere කරා.

සැප්තැම්බර්
සතියකට විතර පොඩ්ඩක් "It's Complicated" වුනා.

ඔක්තෝබර් 
Nokia Lumia 920 එකකට මාරු වුනා.

නොවැම්බර්
ට්‍රිප් ට්‍රිප් ට්‍රිප්.

දෙසැම්බර්
Annual staff convention එකේ departmental presentation එක කරන්න ලැබුනා.

ගිය පාර වගේම මේ අවුරුද්දෙත් අපේ ටීම් එකේ හිටපු කීප දෙනෙක්ම ඉවත් වෙලා ගියා. ඒ වෙනුවට අලුත් අය ගොඩක් ආවා. මේ‍ක මේ company වල හැටි වෙන්න ඕන කියල හිතුනේ හර්ෂි අක්කගේ farewell party එකේදි එයා උපුටා දක්වපු කතාවක් එක්ක. 2013න් learned lesson එක විදියට  මට හිතුනෙත් මේකම තමයි. ඒ නම් සරච්චන්ද්‍රයන් කියා ඇති පරිදි,

 "ආවොත් යා යුතුමය
නොගියොත් නැවත ඊමක් නැත
නාවොත් යන්ට බැරිය
නොගොස් එන්ට බැරිය"

ආයෙත් කවද ලියන්න ලැබෙයිද කියලනම් දන්නේ නෑ. හැබැයි ඉඩක් ලැබුන හැටියේ ලියන්න ලේස්ති වෙලා ඉන්නේ. කොහොම වුනත් එහෙනම් කට්ටියටම ජය සැප සතුට ලං වෙන සුබ අලුත් අවුරුද්දක් වේවා.

2012-12-01

3 අද හොඳම දවස.............

ඒ 2011 වසරේ ඔක්තොබර් 26 වැනි දාවක්. එදත් ප්‍රසිද්ධ හා බැංකු නිවාඩු දවසක් වුනත් වෙළඳ නිවාඩුවක් නොවෙච්ච දීපවාලී දිනයක්. ඊට සතියකට දෙකකට කලින් ජීවිතේ අමාරුම සහ දීර්ඝතම interview එකට මුහුන දීල, දෙවැනි HR interview එකට ආපු දවස. ඔක්කොම ඉවර වෙලා එලියට ආපු මාධව අයියා "වැඩේ හරි" කියපු ගමන් හිතට ආපු වචන තුන තමයි ඔය මුදුනින්ම තියෙන්නේ.

නොවැම්බර් 19 වැනිදා campus එකේ අන්තිම paper එකත් ලියලා, 23 වැනිදා පෙ-Villa සමුගැනීමේ සාදයත් ඉවරවෙලා ගෙදර ගියේ පළවෙනිදට "හරි ගිය වැඩේ"ට එන්න ඕන නිසා. දෙසැම්බර් පළවෙනිදා අලුත් බෝඩිමකටත් ගිහින් කොහොම හරි අන්තිමෙදි පස්වෙනිදා ඉඳන් වැඩ පටන් ගත්තා.

අද වෙන කොට අවුරුද්දකුත් වෙලා. අවුරුද්දකුත් ඉගිලිලා කිව්වොත් හරි. පවත්වගෙන ආපු trip frequency එක නම් ටිකක් අඩු වුනා. හැබැයි full happening අවුරුද්දක් ගෙවිලා ගියා. බෙන්තොට, සිරීපාදේ සහ නුවර එලිය trip තුනයි, TRC events ටිකටයි අමතරව වේදිකා නාට්ටි බලන්න ගියපු හැම අවස්ථාවක්මත් අලුත් අත්දැකීමක් වුනා. පෙරුම්පුරලා පෙරුම්පුරලා නෙළුම් පොකුනේ 'ස' බලන්න ගියපු එක නම් අමතක නොවෙනම අත්දැකීමක්.

ඔය අතරේ මේ අවුරුද්දට අපේ කණ්ඩායමේ හය දෙනෙක්ම ඉවත් වෙලා ගියා. මාව interview කරල තෝරපු මාධව අයියයි, මට කොනක ඉඳන් transmission planning කියල දීපු ධනුශ්ක අයියයි ඉවත් වෙලා ගියපු අවස්ථා දෙක ගොඩක්ම තදින් හිතට දැනුන අවස්ථා දෙකක්. ඒවගෙ කට්ටිය ඉවත් වෙලා යන වෙලාවක හදපු අපේ team එකේ group photo එකක් තමයි ඔය දාල තියෙන්නෙ.

පහුගිය අවුරුද්දට කරපු දේවල් බොහොමයි. කරන්න හිතාගෙන හිටපු දේවල් ඉතා බොහොමයි. ඊලඟ අවුරුද්දටත් කරන්න හිතන් ඉන්න දේවල් නම් ගොඩක් තියනවා. ටිකෙන් ටික සතෙන් සතේ රුපියලෙන් රුපියල එකතු කරනව වගේ one by one ඒවත් ගොඩ දාන්නයි කල්පනාව.

අවුරුද්දක් ගත වෙච්ච වෙලාවේ ස්තූති කරන්න නම් කට්ටිය බොහොමයි. නම් කියන්න නොගියත් අලුතෙන් අකුරක් හරි කියල දීපු, වචනෙකින් හරි දිරිගන්වපු, වතුර වීදුරුවකින් හරි සංග්‍රහ කරපු සියලු දෙනාට ස්තූතියි.

2012-08-01

7 58 වාට්ටුව

අවුරුද්දකුත් වෙන්න ආවා අන්තිම post එක දාලා. දැන් ඉතින් කෙලක් වැඩ නොවැ. වැඩිය තියා facebook යන්නෙත් සති අන්තෙට වගේ ඩින්ගක්. ලියන්න ඕනමයි කියල හිතන් හිටියත් වෙලාවක් නැති නිසා මග ඇරුනා. අන්තිමට post එක ලියපු දාට වඩා ජීවිතේ ගොඩක් වෙනස් වෙලා. කැම්පස් එකෙන් out වෙලා. රස්සාවක් කරනවා. පඩියක් ගන්නවා. ජීවිතේ ගැන වෙනම විදියකට හිතනවා.

ඔය සේරම අතරේ පහුගිය මාස කීපය ඇතුලේ දෙපාරක් ඉස්පිරිතාලේ යන්න වුනා. මගේ අසනීපයකට නෙවෙයි. මුලින්ම මල්ලිට ඩෙංගු හැදිලා. දවස් 8ක් විතර කරාපිටියේ නවත්තල හිටියා. ඒක උණ වාට්ටුවක් නිසා, කට්ටිය එච්චර කතාවක් බහක් නෑ. පාඩුවෙ ඉන්නවා. දෙවැනියට අපේ පුබ්බ කාර් එකකට පොඩි අඩයක් තියලා. කකුලෙ ඇඟිල්ලක් කැඩිලා. ඌව මේ දවස් වල ජාතික රොහලේ 58 වාට්ටුවේ නවත්තල ඉන්නවා. අන්න වාට්ටුව. සේරම ඉන්නේ කැඩුම් බිඳුම් කාරයෝ. ඔන්න ඔය කියාපු 58 වාට්ටුව ගැනයි කියන්න හිතුනේ. අපේ මල්ලි නවත්තල හිටපු කරාපිටියේ 19 වාට්ටුවත් එක්ක පොඩි සංසන්දනයකුත් වේවි.

වාට්ටු වල තත්වය කතා කරොත් 58 ඉතාම ඉහල ගනයේ තියනවා. පිරිසිදු බවත් හොඳයි. මදුරු කරදරත් නෑ. දවසකට දෙපාරක් මොප් කරල සුපිරියටම තියනවා. 19 නම් එකේ සම්පුර්ණ අනිත් පැත්ත. මකුලු දැල් බැඳිල, බිම ජරා වෙලා, වැසිකිලි අවීචිය වගෙයි. ඔය රෝහල් දෙකම ප්‍රධාන ගනයේ රෝහල්නේ. වෙන් කෙරෙන සහ ලැබෙන මුදල් වල ලොකු වෙනසක් තියෙන්නෙ බෑ. හැබැයි පරිපාලනයේ නම් මාර ලොකු වෙනසක් තියන බව නම් හොඳටම පේනවා.

58 ඉන්නේ සේරම අත පය කැඩිච්ච කට්ටිය කියල මම කිව්වනෙ. විවිධ ජාතියෙ කට්ටිය, විවිධ අනතුරු වලින් විවිධ කාලයන්ට රොහල් ගත කරලා. පුබාගේ ඇඳ ගාවම ඉන්න කෙනා නම් කිව්වේ වැඩිපුර තියෙන්නේ මෝටර් බයික් අනතුරු තමයි කියල. කාර් එකකට වැදිල ගේන්නෙ එහෙමත්ම කලාතුරකින්ලු. පොර කීමට කියන්නේ මචන් මම Pulsar, අරූ FZ, එහා එකා Platina, මූ Discovery  කියලා. කොහොම හරි සෑම ජාතියෙම බයික් කාරයො නම් ඉන්නවා. සමහරු පොල් ගස්වල, ලයිට් කණු වල වැදිලා. තවත් එවුන්ට නින්ද ගිහිල්ලා. සමහරු හප්පලා වාහන කාරයො පැනල ගිහිල්ලා.

සමහරුන්ගේ අත කපලා, තව එකෙක්ගේ කකුල කපලා, අනිත් එකාගේ කකුල තැන් බර ගානකින් කැඩිල නිකන් දුන්නක් වගේ. ඒව දැක්කම නම් බයික් පදිනව තියා එලියට යන්නත් බය හිතෙනවා. කොහොම හරි ඉතින් මේ නේවාසිකයෝ ටික දීර්ඝ කාලිනව 58 වාසස්ථානය කර ගෙන ඉන්නවා. වැඩිම කාලයක් ඉන්න කෙනා දැනට අවුරුදු 2යි මාස ගානක්ලු. පුබාගෙ එහා පැත්තේ ඉන්න එකා මාස 2කට වැඩියි.

වේදනාව කොච්චර වැඩි වුනත් කට්ටිය විනොදෙන් ඉන්න උත්සාහ කරනවා. ගෙවල් වලින් ගේනෙන කෑම ටික බෙදාගෙන කනවා. වෙනම උප සංස්කෘතියක්. වාට්ටුවට නම් කට්ටිය ඒවි. දවස දෙක, මාසේ හමාර, අවුරුද්ද දෙකත් ඉඳල යන්න යාවි. හැබැයි ඒ යන එන කෙනා තමන් වෙයිද කියල සක්කරයටවත් කියන්න බෑනේ.

ඉතින් 58ට යන එන වාරයක් පාසා මට නම් හිතිච්ච දෙයක් තියනවා. ජීවිතේ හැම මොහොතක්ම විඳිමින් ජීවත් වෙන්න ඕන. මොකද ඊලඟ මොහෙතේ වෙන දේ අපි කවුරුවත් දන්නෙ නැති නිසා. නැත්නම් අපිටත් මොහොතක් ඒවි, "අපරාදේ කකුල තිබුන කලේ football ගැහුවෙ නැත්තේ" කියල හිතෙන. ඊට වඩා හොඳයිනේ "කකුල තිබුන කාලේ නම් football ගැහුව" කියලා හිතෙන එක. 

2011-06-12

1 සයිකල් වර්ක්ස්

A/L කාලේ පන්ති යන එකයි ඉස්කොලේ යන එකයි ඇරුනම වැඩිපුරම ගියපු තැනක් තමයි ඔය "සයිකල් වර්ක්ස්" කියල ලෑලි කෑල්ලක ලියල තියන පොඩි මඩු. එක පාරටම "සයිකල් වර්ක්ස්" මතක් වුනේ, පෙරේදා යන්න වුනා ඔය "සයිකල් වර්ක්ස්" එකකට. පැච් එකක් දාන්න කියල, ඒකත් මෝටාර් එකට. තල්ලු කරපු එවුන් නම් දන්නව ඇති හුලන් ගිහිපු මෝටාර් එකක් තල්ලු කරන රඟේ. ඉතින් තල්ලු කරන් මනෝ පාරකුත් දා ගෙන යන අතරෙ තමයි හිතුනේ මගේ ජීවිතේ සයිකල් පරිණාමය ගැන පෝස්ට් එකක් දාන්න ඕනෙ කියල.

මම පැදපු මුල්ම සයිකලේ ට්‍රයිසිකලයක්. රතු පාට ට්‍රයිසිකලේ හැන්ඩ්ල් එක දෙපැත්තේ ඉටි කොල සවරම් තිබුනා. එක ගෙනාපු දවසක් නම් මතක නැහැ. හැබැයි ඒක මම ඉස්කොලේ එකේ පන්තියට යනකම්ම අපේ දර මඩුවේ තිබුන මතකයි. ඔය පල්ලෙහා තියෙන්නේ එකේ පින්තූරයක්. අපේ මල්ලි උගේ වගේ ඕකේ නැගල හිටියට ඕක මගේ.

ඊට පස්සේ මම තුනේදි විතර තාත්තා අරන් දුන්න බාගේ බයිසිකලයක්. බාගේ බයිසිකලේ කියන්නේ, ඒක පොඩි හින්දා වෙන්න ඇති. බයිසිකලේ තැඹිලි පාටයි. බයිසිකල් පොල්ලටයි, හැන්ඩ්ල් පොල්ලටයි ස්පොන්ච් වගෙ කවරයක් දාලා තිබ්බා. ඔය බයිසිකලෙන් තමයි මම මුලින්ම රෝද 2න් යන්න පටන් ගත්තේ. ඒකෙන් නම් කී පාරක් කියල වැටිලා ඇද්ද. මම පහේ ශිෂ්‍යත්වෙට ගියපු පන්තියට යන එක තමයි ලොකුම ප්‍රයෝජනේ. සතියකට දවස් 2ක් පල්ලියපිටියෙ ඉදන් හෑගොඩට ගියපු කිලෝ මීටර් 1ක විතර ගමන තමයි මගේ බාගේ බයිසිකලේ දිගම ගමන.

පහේ ශිෂ්‍යත්වේ පාස් වුනාම තාත්තා ඊලඟට අරන් දුන්නා කෙන්ස්ටාර් මවුන්ටන් බයිසිකලයක්. ඒක මුල් කාලේ නම් වැඩිපුරම පාවිච්චිකරේ තාත්තමයි. ඒ දවස් වල අපේ ගෙදර හදන කාලේ නිසා, ඒවයි වැඩ වලට තමයි වැඩි පාවිච්චිය. පස්සේ ඉතින් කඩේ යන්නම තමයි. A/L කාලේ තමයි බයිසිකලෙන් ඉස්කොලේ යන්න වුනේ. වැඩියත්ම හවස පන්ති තිබිච්ච නිසා බයිසිකලේ ගමන ලේසි වුනා. ඉතින් ඒ වෙන කොට ටිකක් මලකඩ අල්ලලා පස් වේගෙන ගියපු බයික්කේ ටිප් ටොප් එකට හදල ගත්තා. ගැහුවා අලුතෙන් රිදී පාට පේන්ට් එකක්. රෝද 2ටම අලුතෙන් ස්පෝක් සහ ටයර්. පොඩි කුනු කුනුවකුත් දාල 21 speed gear සෙට් එකත් දැම්ම කියමුකෝ. අං දෙකකුත් හයි කරේ ඒ දවස් වල trend එක නිසා. වැඩේ සම්පූර්ණ වුනේ අපේ ගැන්සියේ සෙට් එක වගේම, සීට් එකේ වාඩි වුනාම කකුල ගහන්න බෝක්කුවක් ගාවට යන්න වෙන තරමේ උසකට සීට් එක උස්සලා.

බයිසිකල් කෙරුවාව එපා වුනේ සතියට පාරක් දෙපාරක් "සයිකල් වර්ක්ස්" අස්සේ රිංගන්න වෙන කොට තමයි. මොනවා කොරන්නද ඉතින්, දුප්පතාගේ හිතවතානේ. අනික ඉතින් ගිනි අව්වේ ගාල් කරල පන්ති ගියාම පැච් යන එක අහන්න දෙයක්යැ? දවල් වරුවේ බයික්කේ අව්වේ දාල, පන්තිය ඉවර වෙන කොට හුගක් හැන්දෑ වෙලා, "සයිකල් වර්ක්ස්" හොයා ගන්න නැතුව කීපාරක් නම් ඕක වජීන්ලගේ ගෙදර දාල යන්න ඇද්ද.

A/L කරල ලයිසන් ගත්තට පස්සෙ ඉතින් මෝටාර් එක තමයි. ඔටෝ AC තියන නිසා දාඩිය දාන්නෙත් නෑනේ. හැබැයි ඉතින් පැච් එකක් ගියාම පුටාර් එක වගේ නෙවෙයි මෝටාර් එක. මොකෝ ඉතින් ස්පෙයාර් වීල් තියන එකක්යැ. ආන් එතකොට තමයි හිතෙන්නේ පස්සේ ආපු අඟට වඩා, මුලින් ආපු කන තිබ්බ නම් හොදයි කියලා.

කොහොම හරි දැන්නම් ගෙදර තියෙන්නෙ මෝටාර් එක විතරයි. දෙවනි වතාවටත් පස්වෙවී තිබුන මගේ A/L සගය, අම්මා කාටද දීලා. කවුරු හරි පාවිච්චි කරනවනම් හොඳයිනෙ නිකන් පස් වෙනවට වඩා, ඔන්න කොහේද කියල ඇහුවම දීපු උත්තරේ. අපේ සන්දීපයා වගෙ  මම නම් මගේ බයික්කේ අනුන්ගේ ගෙවල් වල පස් වෙන්න දුන්නේ නෑ. පව් මාධවයා! ඌට තමයි සන්දීපයගේ කරත්තෙට හෙවන දෙන්න වුනේ.

කොහොමින් කොහොම A/L ජීවිතේ ප්‍රදානම කොටසක් වුනේ බයිසිකලේ තමයි. ඕන මහ වැස්සක, දකුණු අතින් king size කුඩෙත් ඉහලන්, වම් අතින් පොතට මැදි වෙච්ච cd ටිකයි හැන්ඩ්ල් එකයි ආං බාං කරන්, එක මඩ බින්දුවක් වත් ඉහෙන්නෙ නැතිවෙන්න mud guardනුත් නැති බයික්කෙන් පන්ති ගියපු කාලේ නම් පට්ටම සුන්දරයි.


2011-04-13

3 කිරිල්ල, බලුදං සහ කැපෙන කරත්තය

ටික දවසකින් පෝස්ට් එකක් දාන්නත් බැරි වුන නිසා හිත හිත ඉද්දින් නිකමට වගෙ මගේ මතකෙ දිව්වා අපි පොඩි කාලේ අවුරුද්දට කරපු වැඩ කීපයකට. "යකෝ මූ පොඩි කාලේ කියල කියන්නේ, දැන් ලොකුද?" කියල කවුරුත් අහන එකක් නෑ කියල හිතමුකෝ. 

කොහොම හරි මම 7 වසරට වෙනකම් වගේ අපි හිටියේ රත්ගම. ඒ අපේ තාත්තලගේ මහ ගෙදර. ඉතින් ඒ කාලේ එක සිංහල අලුත් අවුරුද්දක් රත්ගම හිටියොත්, බොහෝ විට අනිත් අවුරුද්දේ අපේ අම්මලගේ මහ ගෙදර. ඒ කිව්වේ බෙලිඅත්තෙ. හරියටම කියනවනම් ගැටමාන්නේ. අපි ගිංතොට අලුතෙන් හදපු අපේ ගෙදරට ආවට පස්සේ නම් සිංහල අලුත් අවුරුද්දට අනිවාර්යෙන් හිටියේ අපේ ගෙදරමයි. 

අපි පොඩි කාලේ වගේම අදටත් ගැටමාන්නේ යන්න මාරම ආසාවක් තියෙන්නේ. හේතුව නිතර යන්න ලැබෙන්නේ නැතිවීමටත් වඩා, අපේ මාමා විය හැකියි. ඒ අපේ අම්මගේ බාලම මල්ලී. අපි කියන්නේ "බේබි මාමා" කියල. ඉතින් අපි ගියාම අපිට මාර සැලකිලි. සෙල්ලම් කරන්න එනවා, සෙල්ලම් බඩු හදල දෙනවා, වේල් 3ටම කවනවා. ඒ මදිවට කවන ගමන් කතාත් කියනවා. අපි ගැටමාන්නේ යන්න තිබ්බ ආසාව කොච්චරද කියනව නම්, අම්මට පේපර්  මාකින් යන්න ඕන වුනාම කරන්නේ අපිව ගිහින් ගැටමාන්නේ ඇරලවන එක. ඔය හදල දෙනවා කියපු සෙල්ලම් බඩු තමයි මට එක පාරට මතකෙට ආවේ.

අවුරුදු නිවාඩුවට යන අපිට අනිවාර්යෙන් හදල දෙන පලවෙනි සෙල්ලම් බඩුව තමයි බට තුවක්කුව. බට කපල, සුද්ද කරලා, හොඳ හයිය අච්චු කූරක් හොයල එකට දාල තමයි වැඩේ ඉවර කරන්නේ. වෙඩි තියන්නේ කිරිල්ල ගෙඩිවලින්. ගෙදර වත්තේ ඕන තරම් කිරිල්ල ගස් තිබ්බා. වෙඩි තියනකොට අච්චු කූරත් 3-4 වතාවක් කැඩෙනවා. ආපහු අච්චු කූර දාල රෙපෙයාර් කරල පාවිච්චි කරනවා. ආපහු ගෙදර එනකොටත් ඕක උස්සන් එනවා. රත්ගම නම් කිරිල්ල හොයා ගන්න තැනක් දැනන් හිටියේ නෑ. ඒ වෙනුවට හොඳට ගැලපුන බලුදං කියල ගෙඩි ජාතියක් පංසල් වත්තෙන් හොයා ගත්තා. තුවක්කු බටේ වේලුංකාල පැලෙනකම්ම කෙරුවාව නෙවෙයි නවතින්නේ.

ඊලඟට හොඳටම මතක තියෙන්නේ "කැපෙන කරත්තය". සාමාන්‍යයෙන් නම් කෝටුවකට ටින්  පියනක් ඇනයකින් ගහල හදන නිකම්ම නිකන් කරත්තෙට වඩා මේක වෙනස්. හොඳ කෙලින් තියන දිග මකුලත කෝටුවක් අරන් ඒකෙ පහලින් "T" හැඩයට හිටින්න, තනි ඇනයකින් ගහනව තව පොඩි කෝටුවක්. දැන් ඔය පොඩි කෝටුවට කරකැවෙන්න පුලුවනිනේ. පොඩි කෝටුවේ දෙකෙලවරට හයිකරනවා රෝද 2ක්. රෝද හොඳට කරකැවෙන්න හයි කරන්නේ කොහොමද කියනම් මට මතකයක් නෑ, හැබැයි රෝද කපන්නේ නම් සෙරෙප්පු වලින් කියලනම් මතකයි. තවත් පොඩි කෝටුවක් අරන් අල්ලන පැත්තෙන් කලින් විදියටම හයිකරලා, අදිනවා ගෝනි නූල් 2ක් පහල පොඩි කෝටුවට. උඩින් තියන කෝටුව හරවන කොට යට කෝටුවත් හැරවිලා කරත්තෙ කැපෙනවා. ඔන්න යන්තන් රූපෙකුත් බලි ගෑව තේරුන්නැත්තන් බලන්න.

අනිත් වැදගත්ම එක තමයි පොල්පිති බැට් එක. අමු පොල්පිත්තකින් කපන බැට් එකකින් දෙන්න පුලුවන් බෝල පැලෙන්න. ඒත් එක්කම මකුලත් කොටු වලින්ම විකට් කූරු 3කුත්  කපා ගන්නේ ෆුල් ප්‍රොෆෙශනලි වැඩේට බහින්න. කොහොම හරි පවුලේ පොඩි නඩේ නම් අවුරුද්දට අනිවාර්ය්‍යයෙන් මදි නොකියන්න සෙල්ලම් කරන බවනම් තාම අද වගේ මතකයි.

අලුත් අවුරුද්දට කලින් ආපහු ලියන්න වෙන එකක් නෑ මම හිතන්නේ. එහෙනම් හැමෝටම සාමය සතුට පිරි, කිරියෙන් පැනියෙන් ඉතිරෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියල ප්‍රාර්තනා කරන ගමන් අපි කැපෙනවා.

2011-02-03

6 සෝඩා බෝතලේ කැඩුවා වගේ

පහු ගිය දවස් වල වෙච්ච සීන් එක්ක නම් සෝඩා මතක් වෙද්දිත් මල පනිනවා. ඒත් ලියනව කියපු නිසා ලියන්නත් එපැයි. හරි, කවුරුත් මම හිතන්නෙ දන්නවා "සෝඩා බෝතලේ කැඩුවා වගේ" කියන කියමන. සෝඩා බෝතලයක් කැඩුවම මුලින් හෝ ගාල පෙන බුබුලු එහෙම දාල පටන් ගන්නෙ. වැඩි වෙලාවක් යන්න ඕනේ නැහැ නිකම්ම නිකම් වතුර වගේ වෙනවනේ. ඒ කියන්නේ මොකක් හරි වැඩක් දැඩි ඕන කමකින් පටන්ගන්නවා. හැබැයි වැඩෙ දවසින් දෙකින් දියාරු වෙලා යනවා. පටන් ගන්න මොරාල් එකේ කෑලිවත් හොයන්න නෑ.

මගෙත් හුඟක් වැඩ සෝඩා බෝතලේ කැඩුවා වගේ කියල කීපදෙනෙක්ම මට මූණටම කියල තියනවා. කියපු හන්දමත් නෙවෙයි කල්පනා කරල බැලින්නම් කතාවේ ඇත්තක් නැත්තෙත් නෑ. ඔන්න එහෙනම් බලාගනිල්ල මගේ සෝඩා වැඩ ලිස්ට් එක.

මුලින්ම මට මතක ඇති විදියට නම් මාළු ඇති කිරිල්ල. මාළු කිව්වේ සුරතල් මසුන්. පොඩි කාලේ හිටියේ රත්ගමනේ. එහෙ ගෙදරට පහලින් ගෙදරක මාළු ඇති කරා. ඔන්න කොල්ලටත් පිස්සුව හැදුන මාළු ඇතිකරන්න. ගෙදර තිබ්බ ප්ලාස්ටික් කෑන් එකක් කපල යට බොරලු ටිකකුත් දාල, වතුර පුරවල ඉල්ලන් ගෙනත් දැම්ම ගුරාමි දෙන්නෙක්. මුල් සතියෙ විතරක් 10 පාරක් විතර ටැන්කිය සුද්ද කරා. මාළු දෙන්නම මලා. මගේ පිස්සුව හොඳ වුනා.

ඊ ලඟට පරෙවි ඇතිකිරිල්ල. අමාරුවෙන් කොහොම හරි ලෑලි කෑලි ටිකක් එකතු කරලා කූඩුවක් හදා ගත්ත කියමුකෝ. පරවියෙකුත් ගෙනල්ලා කූඩුවට දාල නිදා ගත්ත. පහුවෙනිදා උදේ කූඩුව ඇරිය විතරයි පරවියා පියාඹල ගියා. ගත්ත තැනින් කිව්වා "ඇයි මල්ලි පිහාට්ටට ගහල තිබ්බ කට්ට ගැලෙව්වේ" කියල. ඒ ආසවත් ඉවරයි.

මාත් එක්ක කෝච්චියේ ගියපු අමිලය, දර්ශනය, ත්‍යාගය වගේ හෙන සෙට් එකක් ඔය කාලේ බාස්කට් බෝල් ප්‍රැක්ටිස් ගියා. මමත් ඉතින් මගේ සෝඩා මොරාල් එකත් හදා ගෙන ගියා ප්‍රැක්ටිස්. දවස් 2යි හරි 3යි හරි, බෝලෙ වැදිල ඇඟිලි 2ක් උළුක්කු වුනා. කෝචා කිව්වා ඔය විදියට අනිවාර්යෙන්ම ඇඟිලි 10ම උලුක්කු වෙනව කියල. ඔන්න ඒක නවත්තන්න හේතුව.

පිහිනුම් කරන්න කියලත් පාරක් ගියානේ. ඒකේ ප්‍රැක්ටිස් තිබුනේ ගාල්ලේ ජැටියේ. මම ගියපු දවස් ටිකේ නම් මුහුදත් පට්ට සැරයි. ඔය කෙරුවාව නවත්තන්න නම් මුල් වෙච්ච හෙතුව හරියටම මතක නෑ. බැඩ්මින්ටන් කියලත් යලට මහට මාස 3ක් විතර ගියා. ගෙදර ඉඳන්ම ප්‍රැක්ටිස් වෙනවා කියල හිතලා ඒ යෑමත් නැවතුනා. 

බාලදක්ශ කරන්න කියල කොලපාට කමීසෙකුත් මැස්සුවා. මක්කද නීතිද, දිවුරුම්ද පාඩම් කරන්න තියන කම්මැලි කමට එකත් නැවැත්තුවා. අම්මා ඊයෙ පෙරේද කොල පාට කමීසෙන් දූවිලි පිහිදාන කොට තමයි බාලදක්ශත් කොරා නේද කියල මතක් වුනේ.

ජූනියර් බෑන්ඩ් එකටත් ගියා කියමුකෝ. සංගීතයේ මල පොතේ අකුරවත් නොදැන මොන බෑන්ඩ් ද? නැද්ද මම අහන්නේ. ඉලෙක්ට්‍රොනික් පිස්සුවක් හැදිල රේඩියෝ ක්ලබ් එකටත් ගියා. ඒ දවස් වල ට්‍රාන්සිස්ටර් කිව්වම මඤ්ඤ මෝල් වෙනවා. නිකන් මෝල් වෙන්නේ මොකටද කියලා එකත් නැවැත්තුවා. පස්සේ කාලෙක නම් හිතුනා රේඩියෝ ක්ලබ් නැවැත්තුවේ හොඳ වෙලාවට කියලා :P

දහම් අධ්‍යාපනය හැරුනු කොට තිබුනු වෙනත් අරමුනක් නිසා, දහම් පාසල් නම් මාස 5, 6 බැගින් කඩින් කඩ ගියා. හැබැයි කිසිම දහම් පාසල් තරඟයකට හෝ විභාගයකට පෙනී ඉඳලා, සහතිකයක් නම් අරන් නෑ.

සහතිකයක් කියල පෙන්නන්න තියන එකම එක තියෙන්නේ චෙස් වලින්. එකත් ඉතින් අවුරුදු එක හමාරකට, දෙකකට වඩා කරේ නෑ.

දැන්නම් හිතෙනවා ඔය මොන මගුල් වලින් හරි එකක් හරියට කරන්න තිබ්බ නේද කියල. මොනවා කරන්නද? දැන් ඉතින් ප්‍රමාද වැඩියිනේ. හැබැයි ඉතින් ආපහු කරත් ඔය ටිකම ආපහු වෙන්නත් බැරි නෑ. නැද්ද මම අහන්නේ?

2011-01-07

5 එහෙනම් ඔන්න ආපහු අපි ආවා

Badges of Richmond
College & UOM
මුලින්ම නොදන්න අයට මම කවුද කියල කියලම ඉන්නම්. මම ෂානක අනුරාධ. ගෙවල් ගාල්ලේ. ඉස්කොලෙ ගියේ රිච්මන්ඩ් විද්‍යාලයට. දැනට මොරටුව විශ්වවිද්‍යාලයේ, ඉංජිනේරු පීඨයේ අවසන් වසර සිසුවෙක්. ඉලෙක්ට්‍රොනික හා විදුලි සංදේශ අංශයෙන් තමයි වැඩිදුර හදාරන්නේ. මේ ටික ඇතිනේ. සම්පූර්ණ ජීව දත්ත ඕනෙ නෑනේ.  

අවුරුදු එක හමාරක විතර කාලෙකට කලින් සිංහලෙන්ම බ්ලොග් එකක් ලිව්වා. ඒ ලිව්වෙත් "ෂානකගේ චෛතසිකය" කියලමයි. මතක අයත් කීප දෙනෙක් හරි ඇති මම හිතන්නේ. යෙදුන වැඩත් එක්ක ලියන එක අතපසු වුනා. බ්ලොග් කෙරුවාවත් ඉබේටම අහවර වුනා.

ඉතින් පහු ගිය ටිකේ අපිට පොඩි පහේ නිවාඩුවක් හම්බ වුනානේ. ඉතින් මාරම කම්මැලි කමෙන් ඉන්ඳෙද්දි හිතුනා ආපහු ලියන්න. අලුතෙන්ම නම් දානවට වඩා පරණ නමින්ම ලියන එක හොඳයි කියල හිතුන නිසා, ආපහු පාරක් "ෂානකගේ චෛතසිකය" ට ලියන්න හිතුවා. 

මගේ වෙලාවට පරණ host name එකටම බ්ලොග් එක හදා ගන්න පුලුවන් වුනා. බැරි බැරි ගාතෙ net එකෙන් ගත්තු පින්තූර කපල කොටලා, ටිකක් විතර ශේප් template එකක් හදා ගත්තා. Photoshop ටිකකුත් ඇහැක් වුනා ඒ ඩින්ගට. ටික ටික ඉස්සරහට ලියන්නම්. කියවල comment එහෙම දාලා පොඩි support එකක් දෙන්න.