2011-06-28

4 ජෝගි නැටීම

ජෝගි නැටීම කියන්නේ අපේ සාමාන්‍ය කට වහරේ නිතර පාවිච්චි වෙන වචනයක්නේ. තේරුම් ගානත් එමටයි. නිතර පාවිච්චි වෙන්නෙ නම් කවුරු හරි කෙනෙක්ට බනින්න හරි ඇනුම් පදයක් විදියට හරි තමයි.

ඇත්තටම නම් ජෝගි නැටීම කියන්නේ ශාන්තිකර්මයක කොටසක්ලුනේ. කොලඹ අවට විශේෂ නාට්‍ය වර්ගයකුත් තිබිල තියනවලු ජෝගි නාට්‍ය කියල. ඔන්න ඔය දෙවැනියට කියපු එක නිසා තමයි ජෝගි නැටීම කියන දේට දරුණුම තේරුම ඇවිත් තියෙන්නේ. ඇඳි සළු පිළි උනා දමමින් කරන නැටුමක් කියනවනේ. "ඕකි හොඳට ජෝගි නටපු එකියක්" වගේ භාවිතයක් අඩු ගානේ ටෙලි නාට්‍යක හරි චිත්‍රපටියක හරි අහල දැකල තියනවනම් සම්බන්දේ ගලපා ගන්න පුලුවන් වේවි.

හැබැයි එච්චරම සැර තේරුමක් නැති විදි වලටත් ඔය නැටිල්ල පාවිච්චි කරනවා. මට මතකයි ඉස්සර අපිත් එක්කම රත්ගම ගෙදර හිටපු රතු අයියට මහම්මා බනිනව, "මූ හවස් වරුවෙම ජෝගි නටල නටල ඇවිත් දැන් TV එක ඉස්සරහ වාඩි වෙලා ඉන්නවා. අතන තිබුන පෙලෙල්ලක් මෙතන්ට කරවන්න බෑනේ මූට කියල" කියලා.

එක පාරටම මේ ජෝගි නැටිල්ල මතක් වුනේ, පහු ගිය ඉරිදා මමත් දැක්කනේ ජෝගි නැටිල්ලක්. කලබල වෙන්න එපා අර කලින් කියපු දෙවැනි වර්ගයෙ එකක් නෙවෙයි. මේක පෙරහැරක ජෝගි නැටිල්ලක්. මේකයි සිද්දිය. ඔන්න පහුගිය ඉරිදා අපි කොලඹ ඉඳන් ගෙදර එන ගමන් අහුවුනා පෙරහැරකට. හරියටම කියනවනම් කුමාරකන්දෙදි. ඒ වාර්ශිකව තියන දොඩන්දූවේ මිහිඳු පෙරහැර. පැයකටත් වැඩි රස්තියාදුවක් කුමාරකන්දේ. කමක්නෑ ඉතින් ඕවත් තියෙන්න එපැයි ආගම දර්ශනේ, සංස්කෘතියේ පැවත්මට කියල මුවින් නොබැන හිටිය කියමුකො. 

ඔන්න දැන් අපි පෙරහැරත් බලාගෙන, පෙරහැර පාස් කරන් ඉස්සරහට ගියා, පොලිස් රාලහාමි සංඥාවේ හැටියට. පෙරහැරේ බාගයකටත් වඩා තිබුනේ කාවාඩි. ඒකත් හරි කාවාඩියක් නම් කමක් නෑ. අපරාදේ කියන්න බෑ බිග් මැච් එකකට අරන් යන්න තරම් සිරා පපරයකට ඉස්සර වෙච්ච කණ්ඩායම හොඳට නටනවා. උන් ඇත්තටම නටනවා නෙවෙයි, වැනෙනවා. කට්ටියම කර්පට් වෙන්නම ගහලා. කාලක් ගහලා කාලක්‍රියා කරනවට වඩා, භාගයක් ගහලා භාග්‍යවන්තයෙක් වෙනවට වඩා, මුන්ට හිතෙන්න ඇති බෝතලයක්ම ගහලා බෝධිසත්වයෙක් වෙන්න. කාවාඩි කිව්වට එකෙක්වත් යකඩ කටුවක් ඇඟට ගහලත් නෑ. කතරගම දෙයියන්ට වැඩ වැඩි නිසා හොඳයි. නැත්තන් යකඩ කට්ට ගහන්නේ මුන්ගේ xx.


මිනිස්සු බොන එකට අපි මුකුත් කියන්නේ නෑ. උන්ගේ කාර්, උන්ගේ පැට්ට්‍රොල් නේ. මිනිස්සු නැටුවට අපිට කමකුත් නෑ. නැටුමයි, බෙරේ පලුවයි දෙකම නැති වෙන්නෙත් උන්ටනේ. මිනිස්සු බීලා නැටුවත් අපිට කමක් නෑ. වැටිල කැඩුනොත් උනගෙ බෙලිනේ. හැබැයි සුලු පිරිසකගේ ජොලියට දහස්ගානක් මහපාරේ රස්තියාදු වෙනවනම් ඒක මම කලින් කිව්ව ජෝගි නැටීමේ එක ආකාරයක් වෙනවා නේද?

4 comments:

  1. කියලා වැඩක් නැහැ....සමහරු හිතන් ඉන්නේ පාරේ හැමෝම එයාලගේ වැඩ වලට සහය දක්වන්න ඕනේ කියලා//ඔය පැය ඇතුලත අමාරු රෝගියෙක් ගෙනියන වහනයක් එහෙම එහෙම පාරේ හිර වෙලා තිබ්බා නම් ඉතින් ලෙඩාට දෙවියන්ගේම පිහිට තමා

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. " කාලක් ගහලා කාලක්‍රියා කරනවට වඩා, භාගයක් ගහලා භාග්‍යවන්තයෙක් වෙනවට වඩා, මුන්ට හිතෙන්න ඇති බෝතලයක්ම ගහලා බෝධිසත්වයෙක් වෙන්න."
    පට්ට ඈ...... හැමෝටම හිතෙන්නෙ මේකනෙ.............

    ReplyDelete
  4. මමත් හිතින් කිය කිය ආවේ, "මුන්ට දෙයියන්ගෙ පිහිටයි ආආආආආආරස්සාවයි" කියල තමයි

    ReplyDelete