2012-12-01

3 අද හොඳම දවස.............

ඒ 2011 වසරේ ඔක්තොබර් 26 වැනි දාවක්. එදත් ප්‍රසිද්ධ හා බැංකු නිවාඩු දවසක් වුනත් වෙළඳ නිවාඩුවක් නොවෙච්ච දීපවාලී දිනයක්. ඊට සතියකට දෙකකට කලින් ජීවිතේ අමාරුම සහ දීර්ඝතම interview එකට මුහුන දීල, දෙවැනි HR interview එකට ආපු දවස. ඔක්කොම ඉවර වෙලා එලියට ආපු මාධව අයියා "වැඩේ හරි" කියපු ගමන් හිතට ආපු වචන තුන තමයි ඔය මුදුනින්ම තියෙන්නේ.

නොවැම්බර් 19 වැනිදා campus එකේ අන්තිම paper එකත් ලියලා, 23 වැනිදා පෙ-Villa සමුගැනීමේ සාදයත් ඉවරවෙලා ගෙදර ගියේ පළවෙනිදට "හරි ගිය වැඩේ"ට එන්න ඕන නිසා. දෙසැම්බර් පළවෙනිදා අලුත් බෝඩිමකටත් ගිහින් කොහොම හරි අන්තිමෙදි පස්වෙනිදා ඉඳන් වැඩ පටන් ගත්තා.

අද වෙන කොට අවුරුද්දකුත් වෙලා. අවුරුද්දකුත් ඉගිලිලා කිව්වොත් හරි. පවත්වගෙන ආපු trip frequency එක නම් ටිකක් අඩු වුනා. හැබැයි full happening අවුරුද්දක් ගෙවිලා ගියා. බෙන්තොට, සිරීපාදේ සහ නුවර එලිය trip තුනයි, TRC events ටිකටයි අමතරව වේදිකා නාට්ටි බලන්න ගියපු හැම අවස්ථාවක්මත් අලුත් අත්දැකීමක් වුනා. පෙරුම්පුරලා පෙරුම්පුරලා නෙළුම් පොකුනේ 'ස' බලන්න ගියපු එක නම් අමතක නොවෙනම අත්දැකීමක්.

ඔය අතරේ මේ අවුරුද්දට අපේ කණ්ඩායමේ හය දෙනෙක්ම ඉවත් වෙලා ගියා. මාව interview කරල තෝරපු මාධව අයියයි, මට කොනක ඉඳන් transmission planning කියල දීපු ධනුශ්ක අයියයි ඉවත් වෙලා ගියපු අවස්ථා දෙක ගොඩක්ම තදින් හිතට දැනුන අවස්ථා දෙකක්. ඒවගෙ කට්ටිය ඉවත් වෙලා යන වෙලාවක හදපු අපේ team එකේ group photo එකක් තමයි ඔය දාල තියෙන්නෙ.

පහුගිය අවුරුද්දට කරපු දේවල් බොහොමයි. කරන්න හිතාගෙන හිටපු දේවල් ඉතා බොහොමයි. ඊලඟ අවුරුද්දටත් කරන්න හිතන් ඉන්න දේවල් නම් ගොඩක් තියනවා. ටිකෙන් ටික සතෙන් සතේ රුපියලෙන් රුපියල එකතු කරනව වගේ one by one ඒවත් ගොඩ දාන්නයි කල්පනාව.

අවුරුද්දක් ගත වෙච්ච වෙලාවේ ස්තූති කරන්න නම් කට්ටිය බොහොමයි. නම් කියන්න නොගියත් අලුතෙන් අකුරක් හරි කියල දීපු, වචනෙකින් හරි දිරිගන්වපු, වතුර වීදුරුවකින් හරි සංග්‍රහ කරපු සියලු දෙනාට ස්තූතියි.

2012-08-01

7 58 වාට්ටුව

අවුරුද්දකුත් වෙන්න ආවා අන්තිම post එක දාලා. දැන් ඉතින් කෙලක් වැඩ නොවැ. වැඩිය තියා facebook යන්නෙත් සති අන්තෙට වගේ ඩින්ගක්. ලියන්න ඕනමයි කියල හිතන් හිටියත් වෙලාවක් නැති නිසා මග ඇරුනා. අන්තිමට post එක ලියපු දාට වඩා ජීවිතේ ගොඩක් වෙනස් වෙලා. කැම්පස් එකෙන් out වෙලා. රස්සාවක් කරනවා. පඩියක් ගන්නවා. ජීවිතේ ගැන වෙනම විදියකට හිතනවා.

ඔය සේරම අතරේ පහුගිය මාස කීපය ඇතුලේ දෙපාරක් ඉස්පිරිතාලේ යන්න වුනා. මගේ අසනීපයකට නෙවෙයි. මුලින්ම මල්ලිට ඩෙංගු හැදිලා. දවස් 8ක් විතර කරාපිටියේ නවත්තල හිටියා. ඒක උණ වාට්ටුවක් නිසා, කට්ටිය එච්චර කතාවක් බහක් නෑ. පාඩුවෙ ඉන්නවා. දෙවැනියට අපේ පුබ්බ කාර් එකකට පොඩි අඩයක් තියලා. කකුලෙ ඇඟිල්ලක් කැඩිලා. ඌව මේ දවස් වල ජාතික රොහලේ 58 වාට්ටුවේ නවත්තල ඉන්නවා. අන්න වාට්ටුව. සේරම ඉන්නේ කැඩුම් බිඳුම් කාරයෝ. ඔන්න ඔය කියාපු 58 වාට්ටුව ගැනයි කියන්න හිතුනේ. අපේ මල්ලි නවත්තල හිටපු කරාපිටියේ 19 වාට්ටුවත් එක්ක පොඩි සංසන්දනයකුත් වේවි.

වාට්ටු වල තත්වය කතා කරොත් 58 ඉතාම ඉහල ගනයේ තියනවා. පිරිසිදු බවත් හොඳයි. මදුරු කරදරත් නෑ. දවසකට දෙපාරක් මොප් කරල සුපිරියටම තියනවා. 19 නම් එකේ සම්පුර්ණ අනිත් පැත්ත. මකුලු දැල් බැඳිල, බිම ජරා වෙලා, වැසිකිලි අවීචිය වගෙයි. ඔය රෝහල් දෙකම ප්‍රධාන ගනයේ රෝහල්නේ. වෙන් කෙරෙන සහ ලැබෙන මුදල් වල ලොකු වෙනසක් තියෙන්නෙ බෑ. හැබැයි පරිපාලනයේ නම් මාර ලොකු වෙනසක් තියන බව නම් හොඳටම පේනවා.

58 ඉන්නේ සේරම අත පය කැඩිච්ච කට්ටිය කියල මම කිව්වනෙ. විවිධ ජාතියෙ කට්ටිය, විවිධ අනතුරු වලින් විවිධ කාලයන්ට රොහල් ගත කරලා. පුබාගේ ඇඳ ගාවම ඉන්න කෙනා නම් කිව්වේ වැඩිපුර තියෙන්නේ මෝටර් බයික් අනතුරු තමයි කියල. කාර් එකකට වැදිල ගේන්නෙ එහෙමත්ම කලාතුරකින්ලු. පොර කීමට කියන්නේ මචන් මම Pulsar, අරූ FZ, එහා එකා Platina, මූ Discovery  කියලා. කොහොම හරි සෑම ජාතියෙම බයික් කාරයො නම් ඉන්නවා. සමහරු පොල් ගස්වල, ලයිට් කණු වල වැදිලා. තවත් එවුන්ට නින්ද ගිහිල්ලා. සමහරු හප්පලා වාහන කාරයො පැනල ගිහිල්ලා.

සමහරුන්ගේ අත කපලා, තව එකෙක්ගේ කකුල කපලා, අනිත් එකාගේ කකුල තැන් බර ගානකින් කැඩිල නිකන් දුන්නක් වගේ. ඒව දැක්කම නම් බයික් පදිනව තියා එලියට යන්නත් බය හිතෙනවා. කොහොම හරි ඉතින් මේ නේවාසිකයෝ ටික දීර්ඝ කාලිනව 58 වාසස්ථානය කර ගෙන ඉන්නවා. වැඩිම කාලයක් ඉන්න කෙනා දැනට අවුරුදු 2යි මාස ගානක්ලු. පුබාගෙ එහා පැත්තේ ඉන්න එකා මාස 2කට වැඩියි.

වේදනාව කොච්චර වැඩි වුනත් කට්ටිය විනොදෙන් ඉන්න උත්සාහ කරනවා. ගෙවල් වලින් ගේනෙන කෑම ටික බෙදාගෙන කනවා. වෙනම උප සංස්කෘතියක්. වාට්ටුවට නම් කට්ටිය ඒවි. දවස දෙක, මාසේ හමාර, අවුරුද්ද දෙකත් ඉඳල යන්න යාවි. හැබැයි ඒ යන එන කෙනා තමන් වෙයිද කියල සක්කරයටවත් කියන්න බෑනේ.

ඉතින් 58ට යන එන වාරයක් පාසා මට නම් හිතිච්ච දෙයක් තියනවා. ජීවිතේ හැම මොහොතක්ම විඳිමින් ජීවත් වෙන්න ඕන. මොකද ඊලඟ මොහෙතේ වෙන දේ අපි කවුරුවත් දන්නෙ නැති නිසා. නැත්නම් අපිටත් මොහොතක් ඒවි, "අපරාදේ කකුල තිබුන කලේ football ගැහුවෙ නැත්තේ" කියල හිතෙන. ඊට වඩා හොඳයිනේ "කකුල තිබුන කාලේ නම් football ගැහුව" කියලා හිතෙන එක. 

2011-08-14

7 ආහ්.. මේ අපේ කකුස්සි මහත්තයනේ

මේ දවස් වල හුගක් TV චැනල් වල ප්‍රවෘත්ති තියන ටයිම් බෙල්ට් එකේ යන හාපික් ඇඩ් එක දැක්කද? "ආහ් මේ අපේ Toilet මහත්තයනේ" කියල පටන් ගන්නේ. සින්හලෙන් කිව්වොත් කකුස්සි මහත්තයනේ. ඇඩ් එකේ සින්හල version 1ක් හොයා ගන්න බැරි වුන නිසා ඔන්න හින්දි version එකක් දැම්ම බලාගන්න ඕනේම නම් කියලා.


කාලෙකට කලින් නම් මහේන්ද්‍ර පෙරේරාව කකුස්සි හෝදන්න යැව්වා. ඊට පස්සේ රොජර් සෙනෙවිරත්න. ඔය කවුරු කකුස්සි හේදුවත් අපිට  කමක් නෑ. අපිට අප්පිරියාවක් නැතුව TV එක බලන්න තියෙන්න එපැයි. සාමාන්‍යයෙන් ප්‍රවෘත්ති යන වෙලාවටනෙ අපි බත් කන ගමන් TV බලන්නේ. ඊයේ බත් කන්න කියල TV එක ඉස්සරහ වාඩි වුනා විතරයි මෙන්න කකුස්සි මහත්තයෙක් කකුස්සි හෝදන්න ඇවිල්ලා.

මම දන්න විදියට නම් හුඟක් රට වල මේ වගේ Toilet Cleaner ඇඩ් හරි Sanitary Towel හරි වගේ ඇඩ් දාන්න දෙන්නේ නෑ මිනිස්සු සාමාන්‍යයෙන් කන බොන වේලා වලදි. මේක ඉතින් අමුතු ඇටේ නිසා කන වෙලාවම අල්ලල ඕවා දානවා. ඌරන්ට මොන සෞඛ්‍යද නේද? කෙනෙක් කියන්න පුලුවන් උඹට ඔච්චර අවුල, උඹ ඕකට යන්නෙ යන්නෙ නැද්ද කියලා. හපොයි යනවා. ගිහින් එකේ තියා ගෙන බත් කන්නේ නෑ.

නම් සඳහන් කරාට ඕවට රඟපාන මිනිස්සුන්ගෙ ඇති වැරැද්දකුත් නෑ. මේ වානිජ කරනය  වෙච්ච ලෝකේ ඒ මිනිස්සුත් ජීවත් වෙන්න එපැයි. වැරැද්ද කිසිම ක්‍රම වේදයක්, සම්මතයක් නැති වීම කියලයි මට නම් හිතෙන්නේ. කොහොමත් අපේ රටේ බොහෝ ජනමාධ්‍ය වලට සම්මතයක් නෑනේ. මතකයිනේ ක්‍රිකට් ලෝක කුසලානේ කාලේ "නංගි පෙන්නා අක්කා දීග දීම" ජයටම කරපු හැටි.

මේක මේ වගේ සිද්දි වලින් එකක් විතරයි. ඇස් කන් ඇරල බැලුවොත් තව දුසිමක් විතර ලෙසියෙන් හොයා ගන්න පුලුවන්. වැසිකිලි පිරිසිදුව තබා ගැනීම හොඳයි. හාපික් වගේ හොඳ පිරිසිදු කාරකයක් යොදා ගැනීම හොඳා......යි. ඔහොම කරන්න කියල කියන එක කන බොන Time Belt අතෑරල කියනවා නම් වඩා......හොඳා......යි.

2011-06-28

4 ජෝගි නැටීම

ජෝගි නැටීම කියන්නේ අපේ සාමාන්‍ය කට වහරේ නිතර පාවිච්චි වෙන වචනයක්නේ. තේරුම් ගානත් එමටයි. නිතර පාවිච්චි වෙන්නෙ නම් කවුරු හරි කෙනෙක්ට බනින්න හරි ඇනුම් පදයක් විදියට හරි තමයි.

ඇත්තටම නම් ජෝගි නැටීම කියන්නේ ශාන්තිකර්මයක කොටසක්ලුනේ. කොලඹ අවට විශේෂ නාට්‍ය වර්ගයකුත් තිබිල තියනවලු ජෝගි නාට්‍ය කියල. ඔන්න ඔය දෙවැනියට කියපු එක නිසා තමයි ජෝගි නැටීම කියන දේට දරුණුම තේරුම ඇවිත් තියෙන්නේ. ඇඳි සළු පිළි උනා දමමින් කරන නැටුමක් කියනවනේ. "ඕකි හොඳට ජෝගි නටපු එකියක්" වගේ භාවිතයක් අඩු ගානේ ටෙලි නාට්‍යක හරි චිත්‍රපටියක හරි අහල දැකල තියනවනම් සම්බන්දේ ගලපා ගන්න පුලුවන් වේවි.

හැබැයි එච්චරම සැර තේරුමක් නැති විදි වලටත් ඔය නැටිල්ල පාවිච්චි කරනවා. මට මතකයි ඉස්සර අපිත් එක්කම රත්ගම ගෙදර හිටපු රතු අයියට මහම්මා බනිනව, "මූ හවස් වරුවෙම ජෝගි නටල නටල ඇවිත් දැන් TV එක ඉස්සරහ වාඩි වෙලා ඉන්නවා. අතන තිබුන පෙලෙල්ලක් මෙතන්ට කරවන්න බෑනේ මූට කියල" කියලා.

එක පාරටම මේ ජෝගි නැටිල්ල මතක් වුනේ, පහු ගිය ඉරිදා මමත් දැක්කනේ ජෝගි නැටිල්ලක්. කලබල වෙන්න එපා අර කලින් කියපු දෙවැනි වර්ගයෙ එකක් නෙවෙයි. මේක පෙරහැරක ජෝගි නැටිල්ලක්. මේකයි සිද්දිය. ඔන්න පහුගිය ඉරිදා අපි කොලඹ ඉඳන් ගෙදර එන ගමන් අහුවුනා පෙරහැරකට. හරියටම කියනවනම් කුමාරකන්දෙදි. ඒ වාර්ශිකව තියන දොඩන්දූවේ මිහිඳු පෙරහැර. පැයකටත් වැඩි රස්තියාදුවක් කුමාරකන්දේ. කමක්නෑ ඉතින් ඕවත් තියෙන්න එපැයි ආගම දර්ශනේ, සංස්කෘතියේ පැවත්මට කියල මුවින් නොබැන හිටිය කියමුකො. 

ඔන්න දැන් අපි පෙරහැරත් බලාගෙන, පෙරහැර පාස් කරන් ඉස්සරහට ගියා, පොලිස් රාලහාමි සංඥාවේ හැටියට. පෙරහැරේ බාගයකටත් වඩා තිබුනේ කාවාඩි. ඒකත් හරි කාවාඩියක් නම් කමක් නෑ. අපරාදේ කියන්න බෑ බිග් මැච් එකකට අරන් යන්න තරම් සිරා පපරයකට ඉස්සර වෙච්ච කණ්ඩායම හොඳට නටනවා. උන් ඇත්තටම නටනවා නෙවෙයි, වැනෙනවා. කට්ටියම කර්පට් වෙන්නම ගහලා. කාලක් ගහලා කාලක්‍රියා කරනවට වඩා, භාගයක් ගහලා භාග්‍යවන්තයෙක් වෙනවට වඩා, මුන්ට හිතෙන්න ඇති බෝතලයක්ම ගහලා බෝධිසත්වයෙක් වෙන්න. කාවාඩි කිව්වට එකෙක්වත් යකඩ කටුවක් ඇඟට ගහලත් නෑ. කතරගම දෙයියන්ට වැඩ වැඩි නිසා හොඳයි. නැත්තන් යකඩ කට්ට ගහන්නේ මුන්ගේ xx.


මිනිස්සු බොන එකට අපි මුකුත් කියන්නේ නෑ. උන්ගේ කාර්, උන්ගේ පැට්ට්‍රොල් නේ. මිනිස්සු නැටුවට අපිට කමකුත් නෑ. නැටුමයි, බෙරේ පලුවයි දෙකම නැති වෙන්නෙත් උන්ටනේ. මිනිස්සු බීලා නැටුවත් අපිට කමක් නෑ. වැටිල කැඩුනොත් උනගෙ බෙලිනේ. හැබැයි සුලු පිරිසකගේ ජොලියට දහස්ගානක් මහපාරේ රස්තියාදු වෙනවනම් ඒක මම කලින් කිව්ව ජෝගි නැටීමේ එක ආකාරයක් වෙනවා නේද?

2011-06-12

1 සයිකල් වර්ක්ස්

A/L කාලේ පන්ති යන එකයි ඉස්කොලේ යන එකයි ඇරුනම වැඩිපුරම ගියපු තැනක් තමයි ඔය "සයිකල් වර්ක්ස්" කියල ලෑලි කෑල්ලක ලියල තියන පොඩි මඩු. එක පාරටම "සයිකල් වර්ක්ස්" මතක් වුනේ, පෙරේදා යන්න වුනා ඔය "සයිකල් වර්ක්ස්" එකකට. පැච් එකක් දාන්න කියල, ඒකත් මෝටාර් එකට. තල්ලු කරපු එවුන් නම් දන්නව ඇති හුලන් ගිහිපු මෝටාර් එකක් තල්ලු කරන රඟේ. ඉතින් තල්ලු කරන් මනෝ පාරකුත් දා ගෙන යන අතරෙ තමයි හිතුනේ මගේ ජීවිතේ සයිකල් පරිණාමය ගැන පෝස්ට් එකක් දාන්න ඕනෙ කියල.

මම පැදපු මුල්ම සයිකලේ ට්‍රයිසිකලයක්. රතු පාට ට්‍රයිසිකලේ හැන්ඩ්ල් එක දෙපැත්තේ ඉටි කොල සවරම් තිබුනා. එක ගෙනාපු දවසක් නම් මතක නැහැ. හැබැයි ඒක මම ඉස්කොලේ එකේ පන්තියට යනකම්ම අපේ දර මඩුවේ තිබුන මතකයි. ඔය පල්ලෙහා තියෙන්නේ එකේ පින්තූරයක්. අපේ මල්ලි උගේ වගේ ඕකේ නැගල හිටියට ඕක මගේ.

ඊට පස්සේ මම තුනේදි විතර තාත්තා අරන් දුන්න බාගේ බයිසිකලයක්. බාගේ බයිසිකලේ කියන්නේ, ඒක පොඩි හින්දා වෙන්න ඇති. බයිසිකලේ තැඹිලි පාටයි. බයිසිකල් පොල්ලටයි, හැන්ඩ්ල් පොල්ලටයි ස්පොන්ච් වගෙ කවරයක් දාලා තිබ්බා. ඔය බයිසිකලෙන් තමයි මම මුලින්ම රෝද 2න් යන්න පටන් ගත්තේ. ඒකෙන් නම් කී පාරක් කියල වැටිලා ඇද්ද. මම පහේ ශිෂ්‍යත්වෙට ගියපු පන්තියට යන එක තමයි ලොකුම ප්‍රයෝජනේ. සතියකට දවස් 2ක් පල්ලියපිටියෙ ඉදන් හෑගොඩට ගියපු කිලෝ මීටර් 1ක විතර ගමන තමයි මගේ බාගේ බයිසිකලේ දිගම ගමන.

පහේ ශිෂ්‍යත්වේ පාස් වුනාම තාත්තා ඊලඟට අරන් දුන්නා කෙන්ස්ටාර් මවුන්ටන් බයිසිකලයක්. ඒක මුල් කාලේ නම් වැඩිපුරම පාවිච්චිකරේ තාත්තමයි. ඒ දවස් වල අපේ ගෙදර හදන කාලේ නිසා, ඒවයි වැඩ වලට තමයි වැඩි පාවිච්චිය. පස්සේ ඉතින් කඩේ යන්නම තමයි. A/L කාලේ තමයි බයිසිකලෙන් ඉස්කොලේ යන්න වුනේ. වැඩියත්ම හවස පන්ති තිබිච්ච නිසා බයිසිකලේ ගමන ලේසි වුනා. ඉතින් ඒ වෙන කොට ටිකක් මලකඩ අල්ලලා පස් වේගෙන ගියපු බයික්කේ ටිප් ටොප් එකට හදල ගත්තා. ගැහුවා අලුතෙන් රිදී පාට පේන්ට් එකක්. රෝද 2ටම අලුතෙන් ස්පෝක් සහ ටයර්. පොඩි කුනු කුනුවකුත් දාල 21 speed gear සෙට් එකත් දැම්ම කියමුකෝ. අං දෙකකුත් හයි කරේ ඒ දවස් වල trend එක නිසා. වැඩේ සම්පූර්ණ වුනේ අපේ ගැන්සියේ සෙට් එක වගේම, සීට් එකේ වාඩි වුනාම කකුල ගහන්න බෝක්කුවක් ගාවට යන්න වෙන තරමේ උසකට සීට් එක උස්සලා.

බයිසිකල් කෙරුවාව එපා වුනේ සතියට පාරක් දෙපාරක් "සයිකල් වර්ක්ස්" අස්සේ රිංගන්න වෙන කොට තමයි. මොනවා කොරන්නද ඉතින්, දුප්පතාගේ හිතවතානේ. අනික ඉතින් ගිනි අව්වේ ගාල් කරල පන්ති ගියාම පැච් යන එක අහන්න දෙයක්යැ? දවල් වරුවේ බයික්කේ අව්වේ දාල, පන්තිය ඉවර වෙන කොට හුගක් හැන්දෑ වෙලා, "සයිකල් වර්ක්ස්" හොයා ගන්න නැතුව කීපාරක් නම් ඕක වජීන්ලගේ ගෙදර දාල යන්න ඇද්ද.

A/L කරල ලයිසන් ගත්තට පස්සෙ ඉතින් මෝටාර් එක තමයි. ඔටෝ AC තියන නිසා දාඩිය දාන්නෙත් නෑනේ. හැබැයි ඉතින් පැච් එකක් ගියාම පුටාර් එක වගේ නෙවෙයි මෝටාර් එක. මොකෝ ඉතින් ස්පෙයාර් වීල් තියන එකක්යැ. ආන් එතකොට තමයි හිතෙන්නේ පස්සේ ආපු අඟට වඩා, මුලින් ආපු කන තිබ්බ නම් හොදයි කියලා.

කොහොම හරි දැන්නම් ගෙදර තියෙන්නෙ මෝටාර් එක විතරයි. දෙවනි වතාවටත් පස්වෙවී තිබුන මගේ A/L සගය, අම්මා කාටද දීලා. කවුරු හරි පාවිච්චි කරනවනම් හොඳයිනෙ නිකන් පස් වෙනවට වඩා, ඔන්න කොහේද කියල ඇහුවම දීපු උත්තරේ. අපේ සන්දීපයා වගෙ  මම නම් මගේ බයික්කේ අනුන්ගේ ගෙවල් වල පස් වෙන්න දුන්නේ නෑ. පව් මාධවයා! ඌට තමයි සන්දීපයගේ කරත්තෙට හෙවන දෙන්න වුනේ.

කොහොමින් කොහොම A/L ජීවිතේ ප්‍රදානම කොටසක් වුනේ බයිසිකලේ තමයි. ඕන මහ වැස්සක, දකුණු අතින් king size කුඩෙත් ඉහලන්, වම් අතින් පොතට මැදි වෙච්ච cd ටිකයි හැන්ඩ්ල් එකයි ආං බාං කරන්, එක මඩ බින්දුවක් වත් ඉහෙන්නෙ නැතිවෙන්න mud guardනුත් නැති බයික්කෙන් පන්ති ගියපු කාලේ නම් පට්ටම සුන්දරයි.