2011-03-17

5 නංගි පෙන්නා අක්කා දීග දීම

පහුගිය ටිකේ අපි exam stress එක අඩු කරගන්න කියල කරේ අතරින් පතර මැච් බලපු එක. අපේ floor එකේ TV එකක් තියන නිසා ඇක දැමිල්ලයි, TV බැලිල්ලයි හොඳට synchronize කරගන්න ඇහැකි වුනා. ඉතින් ඔය අතරෙදි අපේ එවුන්ගෙ ඇඟේ ලේ රත් කරන වැඩක් නිසා, ජාතික රූපවාහිනියේ eye නාලිකාවේ  මැච් එක අතරේ දැන්වීම් දාන  එකාට ජාතිය අමතන්න වුනේ 2-3න් පාරක් නෙවෙයි. ඌ එතන හිටියනම් ජොබ් එක අත ඇරල ගෙදර යනවා ෂුවර්.

කට්ටිය හැබැහින් දැකල තියනවද නංගි පෙන්නල අක්කා දීග දෙනවා? ඔව්වා එච්චර හොඳ දේවල් නම් නෙවෙයි කියලා කෙනෙක් කියන්න පුලුවන්. ඇත්ත, හැබැයි මේවා සිද්ද වෙන දේවල්. වැඩියම කලබල වෙන්නත් එපා. මේ කියන නංගි තමයි ලෝක කුසළාන ක්‍රිකට් තරඟ. විශේෂයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම තරඟ වදින ඒවා. එතකොට අක්ක තමයි ඔය අතරෙ යන දැන්වීම් ටික.

හේතුව තමයි ඕවරයකට, අපිට බලන්න වෙන්නේ බෝල 5ක් වීම. පලවෙනි බෝලෙන් බාගයයි, අන්තිම බෝලෙන් බාගයයි. අන්තිම බෝලේ no හරි wide වුනොත් තව එක බෝලයක් ඉවරයි. විකට් එකක් ගියත් එච්චරයි. Channel eye එක විතරයි ටිකක් හරි හරියට වැඩේ කරකගෙන හිටියේ. දැන් උනුත් එච්චරයි.

මීට ගොඩක් කාලෙකට කලින්ම ස්වර්ණවාහිනියට ක්‍රිකට් තරඟ දෙන එක නැවැත්තුවේ අරවින්දගේ slip catch එකක් ඉන්සමාම් බාගෙට අල්ලලා, තීරනේ තුන් වැනි විනිසුරුට දාපු වෙලාවෙ දිගටම දැන්වීම් දාපු එක ආසන්නතම සිදුවීම කරගෙන කියලයි මගෙ මතකේ. සිරසට නම් news 1st නේ. අහවල් රෙද්දට මැච් පෙන්නන්න ගන්නවද මන්දා.

නිකන්ම නිකන් පෙන්නන්න කියනවා නෙවෙයි. එගොල්ලොත් ලාබ ලබන්න එපැයි. ලාබ ලබන්න කියල මැච් එක කපලා දැන්වීම් දාන එක කැතයි කියලා කියන්නයි ඕන වුනේ.

කොහොමහරි දැන් වෙලා තියෙන්නේ උනුත් එකයි, මුනුත් එකයි, තොපිත් එකයි වගේ සීන් එකක්. කට්ටියට නංගි පෙන්නලා, අක්ක දීග දෙන හැටි බලන්න ඕනේ නම් බලා ගන්න හෙට හවස 2.30 ඉඳන් රූපවාහිනිය ඉස්සරහ වාඩි වෙලා channel eye කරකවන්න.

සැ.යු. -
ඉහත ප්‍රකාශය අදාල වන්නේ අක්කාට වඩා නංගී ලස්සන අවස්තා වලට පමනක් බව කරුණාවෙන් සලකන්න.  නංගිට වඩා අක්ක ලස්සනනම් ඉතින් එපා කියන්නේ නෑනේ :P

2011-03-16

8 ඇන්ටිට තමයි වැඩිපුරම ආදරේ .........

හුඟක් දවසකින් ලියන්න බැරි වුනේ පහු ගිය ටිකේ දිගටම අපිට exam තිබුන නිසා. තවත් subject 2ක් තියෙන්නත් තියනවා. ඡන්දෙ නිසා හොඳ වෙලාවට අපිට පොඩි break එකක් හම්බ වුනා. ඔන්න එහෙනම් කතාවට බැස්සා. මතකද කට්ටියට පුංචි කාලේ? මොන්ටිසෝරි යන කාලෙ විතර. සාමාන්‍යයෙන් කවුරු හරි අමුත්තෙක් ගෙදර අවොත් හරි, අපි වෙන කොහේ හරි ගියොත් හරි නොවැරදීම අහන ප්‍රශ්නයක් තමයි අද කතාවට මුල් වුනේ.

ඉතින් ඔහොම මුන ගැහෙන අමුත්තා කිසි චකිතයක් නැතුව පොඩි එකාව හුරතල් කරල කතා කරල අන්තිමට අහනව නියම ප්‍රශ්නයක්. "පුතා වැඩිපුරම ආදරේ අම්මටද තාත්තටද?" ඔන්න ප්‍රශ්නේ. ඉතින් පොඩි එකා ෆුල් හොල්මන්. අම්මට ආදරෙයි කිව්වොත් තාත්ත තරහ වෙයිද? තාත්තට ආදරෙයි කිව්වොත් අම්මා තරහ වෙයිද? සාධාරන බයක් ඇතිවෙනවනේ, නැද්ද මං අහන්නේ? පොඩි එකාගේ අර්බුදේ උග්‍ර වෙන්නේ ප්‍රශ්නෙ අහන කොට අම්මයි තාත්තයි දෙන්නම ලඟ හිටියොත් තමයි. මේ කරදරේ වැඩිම කාන්තා පාර්ශවෙන් තමයි. ඒ කියන්නේ ඇන්ටිලගෙන්.

ඔය කරදරේට මමත් මුහුන පාලා නැතුවම නෙවෙයි. හැබැයි මම ගාව තිබ්බ අහන කෙනාගෙ කනෙන් රිංගල යන්න පුලුවන් සරල උත්තරයක්. "ඇන්ටිට තමයි වැඩිපුරම ආදරේ " කියල නම් නෙවෙයි :D "දෙන්නටම" කියල. උත්තරෙ දීල මම ගානට කැපෙනවා එතන නොයිඳ.

කොහොම හරි ඔය වගේ වාතෙ වෙන ඇන්ටි කෙනෙක් ආවලු කොල්ලෙක්ගෙ ගෙදර. මූත් මොන්ටිසෝරි යන ඇච්ච කාලේ. මූටත් හිටියේ තව අවුරුද්දක් විතර බාල මල්ලි කෙනෙක් විතරයිලු. ඉතින් ඇන්ටි මුලින් බටර් පාර එහෙම ගාල, කොල්ලට ඉදිරිපත් කරාලු අපේ මාතෘකා වෙච්ච ප්‍රශ්නේ. ගෙදර කට්ටියම ඉන්න තැන. හැබැයි වෙන format එකකින්. "පුතාගෙනුයි මල්ලිගෙනුයි කාටද වැඩිපුරම අම්මා ආදරේ?" මූ පැනපු ගමන් කිව්වලු "මට" කියලා. ඔන්න ඒ පාර මල්ලි මූත් එක්ක යුද්දෙලු, අම්ම වැඩිපුර ආදරේ ඌට කියලා.

මුන් දෙන්නගෙ යුද්දේන් ෆෝම් වෙච්ච ඇන්ටි, ආපහු යුද්දේ අවුලවන්න කියල වෙන්න ඇති ඇහුව දෙවනි ප්‍රශ්නෙත්. "එතකොට තාත්ත ඔය දෙන්නගෙන් කාටද වැඩිපුර ආදරේ?"

පොඩි එකත් ඇරියෙ නෑ වැඩේ. මූ කට ගත්ත ගමන් කිව්ව "අපි දෙන්නටම වඩා, තාත්ත ඇන්ටිට තමයි වැඩිපුරම ආදරේ" කියල. ඇන්ටිට පොළව පලන් යන්න හිතෙන්න ඇති මම හිතන්නේ. කොහොම වුනත් ඊට පස්සේ ඔය වගෙ ප්‍රශ්න නොහා ඉන්න හිතා ගන්නවත් ඇතිනේ.

2011-02-25

0 නොතේරෙන තේරවිල්ල



එපා කොට ලං වෙන
ඕන කොට ඈත් වෙන
නැංගුරමක්ද
ආදරය.......?



ඇදල අරන්
දමල ගහන
පිපුන ගමන් පරවෙන මල
ගිනි කූරක්ද
යාළුකම.......?



පද ගලපලා
කණපිට හරවලා
තවම නොතේරුන
තුන් තේරවිල්ල 
ඔබ.......

2011-02-11

5 මාස 2ක් කෙටියෙන්

සඳුදා කැම්පස් පටන් ගන්නවයි කියන්නේ. දැන් ඉතින් නිවාඩුවත් ඉවරයි. කැම්පස් යන්නේ මාස 2කටත්  වඩා පොඩ්ඩක් වැඩි කාලෙකින් නිසා යන්න කම්මැලි කමකුත් නෑ වගේ. ගෙදර ඉන්න කොට ඉතින් හොඳට කාල බීලා නාල ඇඳලා හිටියට වැඩකට ඇති වැඩක්නම් කෙරෙන්නේ නෑනේ. ඒ වුනාට මේ පාරනම් එක එක ජාතියේ වැඩ ටිකක් කර ගන්න පුලුවන් වුනා.

නිවාඩු කාලේ පටන් ගත්ත මුල්ම වැඩේ, අර රිමෝට් එකෙන් කාමරෙ ලයිට් එක නිවන්න - පත්තු කරන්න හදපු අයිටම් එක. ඒක නම් එළටම ගොඩ දාගත්ත. ඔන්න තියනව පින්තූරෙකුත්. හිතුවට වඩා හොඳ නිමාවක් ගන්නත් ඇහැක් වුනා. ඉර එලියෙන්වත්, වෙන මුකුත් ප්‍රභවයකින්වත් interferences නැති වෙන්නම ඇණේ ගැහුවා. හදන්න ඕන කෙනෙක් ඉන්නවනම්, කෙලින්ම අපේ අරුණ මහත්තය ඇමතුව නම් හරි. මොකද design එක proprietary එකක් නොවැ ;)

මාස 2ටම ඇකක් දාගන්න නම් බැරි වුනා. හැබැයි CCNA exam එක නම් ගොඩ දාගත්ත. හිතාගෙන හිටියෙ exam එක කවද කරන්න වේවිද කියල sure නැතුව. උන්න හැටියට මළා මැදැයි කියල SMPS එකත් අටව ගත්තා. මේ ලියන්නෙත් ඒකෙ පොඩි පොඩි වැඩ ටිකක් කරන අතරෙදිමයි. SMPS හදන එකත් මාරක අනතුරු සහිත ක්‍රියාවලියක් නොවැ. Capacitor එකක් පුපුරන්න ගිහින් පාරක් යන්තම් බේරුනේ. ඇඟිල්ලක් බවුත් එකට පිච්චිලා හොඳ වුනේ ඊයෙ පෙරේදට. ඊයෙ රෑ අත කීප සැරයක්ම පිච්චුනේ අම්බානක රත් වෙලා තිබ්බ FET එක අල්ලන්න ගිහින්. ඇයි ඒ විතරක් නම් කමක් නෑ, මගේ පොකට් එකට තමයි බරපතල ලෙස හානි වෙලා තියෙන්නේ. දැනටත් රුපියල් වලින් 2000ක් විතර කයිට් වෙලා. අපේ මීයලා මේවට සම්මදන් වුනා නම් තමා, පොකට් එක ICU එකෙන් එලියට ගන්න ඇහැක් වෙන්නේ.

ඔය අතරේ ඉතින් වෙනදා වගෙම අපි විනෝද වෙන්නත් අමතක කරේ නෑ. රූමස්සල සුදු වැල්ලේ දාපු ලෝකල් BBQ එකට නම් සම්පුර්ණ credit එක පුබාගේ මස්සිනාට. අම්මෝ එදා නම් යන්තන් ගෙදර යාගත්ත රෑ 8-9 විතර වෙන කොට. දෙනියාය පැත්තෙන් සිංහරාජේ ගියෙත් පහුගිය නිවාඩු කාලේදිමයි. දවස් 3ක් එහේ හිටියයි කියමුකෝ. තවත් දිය ඇලි නම් එපා කියාගෙනයි අපි ගෙදර අවේ. හතක්ම බැලුවනේ, දියඇලිම. :D

අන්තිමට අපේ RCG 2006 Group එකේ get together එක. සූ ගාල කොල්ලෝ ටික ඇවිත් හිටියා. පළවෙනි get එකේ සතුට නම් අපේ ඉහටත් උඩින්. අයේ ඉතින් සුපිරිම ආතල් එකක් ගත්ත. සමහරු නම් කිව්වේ "උඹ ආතල් ගත්තා, අපි චාටර් වුනා" කියලා. ඒවත් වෙන්න එපැයි. නැද්ද මං අහන්නේ?

2011-02-03

6 සෝඩා බෝතලේ කැඩුවා වගේ

පහු ගිය දවස් වල වෙච්ච සීන් එක්ක නම් සෝඩා මතක් වෙද්දිත් මල පනිනවා. ඒත් ලියනව කියපු නිසා ලියන්නත් එපැයි. හරි, කවුරුත් මම හිතන්නෙ දන්නවා "සෝඩා බෝතලේ කැඩුවා වගේ" කියන කියමන. සෝඩා බෝතලයක් කැඩුවම මුලින් හෝ ගාල පෙන බුබුලු එහෙම දාල පටන් ගන්නෙ. වැඩි වෙලාවක් යන්න ඕනේ නැහැ නිකම්ම නිකම් වතුර වගේ වෙනවනේ. ඒ කියන්නේ මොකක් හරි වැඩක් දැඩි ඕන කමකින් පටන්ගන්නවා. හැබැයි වැඩෙ දවසින් දෙකින් දියාරු වෙලා යනවා. පටන් ගන්න මොරාල් එකේ කෑලිවත් හොයන්න නෑ.

මගෙත් හුඟක් වැඩ සෝඩා බෝතලේ කැඩුවා වගේ කියල කීපදෙනෙක්ම මට මූණටම කියල තියනවා. කියපු හන්දමත් නෙවෙයි කල්පනා කරල බැලින්නම් කතාවේ ඇත්තක් නැත්තෙත් නෑ. ඔන්න එහෙනම් බලාගනිල්ල මගේ සෝඩා වැඩ ලිස්ට් එක.

මුලින්ම මට මතක ඇති විදියට නම් මාළු ඇති කිරිල්ල. මාළු කිව්වේ සුරතල් මසුන්. පොඩි කාලේ හිටියේ රත්ගමනේ. එහෙ ගෙදරට පහලින් ගෙදරක මාළු ඇති කරා. ඔන්න කොල්ලටත් පිස්සුව හැදුන මාළු ඇතිකරන්න. ගෙදර තිබ්බ ප්ලාස්ටික් කෑන් එකක් කපල යට බොරලු ටිකකුත් දාල, වතුර පුරවල ඉල්ලන් ගෙනත් දැම්ම ගුරාමි දෙන්නෙක්. මුල් සතියෙ විතරක් 10 පාරක් විතර ටැන්කිය සුද්ද කරා. මාළු දෙන්නම මලා. මගේ පිස්සුව හොඳ වුනා.

ඊ ලඟට පරෙවි ඇතිකිරිල්ල. අමාරුවෙන් කොහොම හරි ලෑලි කෑලි ටිකක් එකතු කරලා කූඩුවක් හදා ගත්ත කියමුකෝ. පරවියෙකුත් ගෙනල්ලා කූඩුවට දාල නිදා ගත්ත. පහුවෙනිදා උදේ කූඩුව ඇරිය විතරයි පරවියා පියාඹල ගියා. ගත්ත තැනින් කිව්වා "ඇයි මල්ලි පිහාට්ටට ගහල තිබ්බ කට්ට ගැලෙව්වේ" කියල. ඒ ආසවත් ඉවරයි.

මාත් එක්ක කෝච්චියේ ගියපු අමිලය, දර්ශනය, ත්‍යාගය වගේ හෙන සෙට් එකක් ඔය කාලේ බාස්කට් බෝල් ප්‍රැක්ටිස් ගියා. මමත් ඉතින් මගේ සෝඩා මොරාල් එකත් හදා ගෙන ගියා ප්‍රැක්ටිස්. දවස් 2යි හරි 3යි හරි, බෝලෙ වැදිල ඇඟිලි 2ක් උළුක්කු වුනා. කෝචා කිව්වා ඔය විදියට අනිවාර්යෙන්ම ඇඟිලි 10ම උලුක්කු වෙනව කියල. ඔන්න ඒක නවත්තන්න හේතුව.

පිහිනුම් කරන්න කියලත් පාරක් ගියානේ. ඒකේ ප්‍රැක්ටිස් තිබුනේ ගාල්ලේ ජැටියේ. මම ගියපු දවස් ටිකේ නම් මුහුදත් පට්ට සැරයි. ඔය කෙරුවාව නවත්තන්න නම් මුල් වෙච්ච හෙතුව හරියටම මතක නෑ. බැඩ්මින්ටන් කියලත් යලට මහට මාස 3ක් විතර ගියා. ගෙදර ඉඳන්ම ප්‍රැක්ටිස් වෙනවා කියල හිතලා ඒ යෑමත් නැවතුනා. 

බාලදක්ශ කරන්න කියල කොලපාට කමීසෙකුත් මැස්සුවා. මක්කද නීතිද, දිවුරුම්ද පාඩම් කරන්න තියන කම්මැලි කමට එකත් නැවැත්තුවා. අම්මා ඊයෙ පෙරේද කොල පාට කමීසෙන් දූවිලි පිහිදාන කොට තමයි බාලදක්ශත් කොරා නේද කියල මතක් වුනේ.

ජූනියර් බෑන්ඩ් එකටත් ගියා කියමුකෝ. සංගීතයේ මල පොතේ අකුරවත් නොදැන මොන බෑන්ඩ් ද? නැද්ද මම අහන්නේ. ඉලෙක්ට්‍රොනික් පිස්සුවක් හැදිල රේඩියෝ ක්ලබ් එකටත් ගියා. ඒ දවස් වල ට්‍රාන්සිස්ටර් කිව්වම මඤ්ඤ මෝල් වෙනවා. නිකන් මෝල් වෙන්නේ මොකටද කියලා එකත් නැවැත්තුවා. පස්සේ කාලෙක නම් හිතුනා රේඩියෝ ක්ලබ් නැවැත්තුවේ හොඳ වෙලාවට කියලා :P

දහම් අධ්‍යාපනය හැරුනු කොට තිබුනු වෙනත් අරමුනක් නිසා, දහම් පාසල් නම් මාස 5, 6 බැගින් කඩින් කඩ ගියා. හැබැයි කිසිම දහම් පාසල් තරඟයකට හෝ විභාගයකට පෙනී ඉඳලා, සහතිකයක් නම් අරන් නෑ.

සහතිකයක් කියල පෙන්නන්න තියන එකම එක තියෙන්නේ චෙස් වලින්. එකත් ඉතින් අවුරුදු එක හමාරකට, දෙකකට වඩා කරේ නෑ.

දැන්නම් හිතෙනවා ඔය මොන මගුල් වලින් හරි එකක් හරියට කරන්න තිබ්බ නේද කියල. මොනවා කරන්නද? දැන් ඉතින් ප්‍රමාද වැඩියිනේ. හැබැයි ඉතින් ආපහු කරත් ඔය ටිකම ආපහු වෙන්නත් බැරි නෑ. නැද්ද මම අහන්නේ?